වෙන්නප්පුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී අද (31) දින පෙරවරු 10.30 ට පමණ සිදු වූ පිහි ඇනුම් හා වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පළමුව අනතුරට ලක්කර,
පසුව තියුණු ආයුධවලින් පහරදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
මෙම ප්‍රහාරයෙන් යතුරුපැදියේ ගමන්ගත් එක් අයෙකු තුවාල ලබා පළාගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා මහාධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියේ පෙනී සිට අත්සන් තබා නැවත නිවස බලා යමින් සිටියදී මෙම අපරාධයට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
එළඹෙන සැප්තැම්බර් මස 09 වන දින අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval