
‘ටීචර් අම්මා’ යන නමින් ප්‍රසිද්ධියට පත් හයේෂිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරියකගේ පැමිණිල්ලක් මත කටාන පොලිසිය තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් බවට චෝදනා කරමින් තරුණයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන ජනවාරි 28 වන දිනට නියම කර ඇත.
මෙම නඩුව අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය, පෙත්සමට අදාළව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ඉල්ලා සිටියාය. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටි අතර,
එම ඉල්ලීම් දෙකටම අවසර දුන් විනිසුරු මඩුල්ල වැඩිදුර කරුණු තහවුරු කිරීම සහ විභාගය ජනවාරි 28 දිනට කල් තැබීය.
පෙත්සම්කාර තරුණයා, හයේෂිකා ප්‍රනාන්දු මහත්මියට අයත් කටාන ප්‍රදේශයේ පිහිටි අධ්‍යාපන ආයතනයේ තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහු විසින් කටාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු කිහිප දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
තම පෙත්සම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ, 2025 මැයි මස 06 වන දින තමා විසින් තරුණ ශිෂ්‍යාවකට පරිගණක පුහුණුවක් ලබා දෙමින් සිටින විට, අදාළ ගුරුවරිය ඇතුළු පිරිසක් පැමිණ ෆේස්බුක් සටහනක් මුල් කරගනිමින් තමාට පහරදුන් බවයි. එමෙන්ම, තමා එම ශිෂ්‍යාවට ලිංගික අතවරයක් කළ බවට අසත්‍ය චෝදනාවක් නැගූ ගුරුවරිය, ඒ පිළිබඳව දැරියගේ දෙමාපියන්වද දැනුවත් කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කරයි.
පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී, හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මැයි 14 වන දින කටාන පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගත් බව ඔහු පවසයි.
එලෙස අත්අඩංගුවට ගත් තමන්ව පැය 48 ඉක්මවන තෙක් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙත්සම්කරු අධිකරණය හමුවේ තර්ක කරයි.
ඒ අනුව, තමාගේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීතියට පටහැනි බවටත්, එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවටත් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. තවද, සිදුවූ අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් සුදුසු වන්දියක් ලබාදෙන ලෙසද ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

