wax-museum-at-ehelepola-walawwa-inaugurated-under-the-patronage-of-the-president-photos

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය අද (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. නගර සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව, ශ්‍රී දළදා මාළිගාව වෙත භාර දීමෙන් අනතුරුව, එම ස්ථානයේ පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික උරුමය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම නව කෞතුකාගාරය ගොඩනංවා තිබේ.



කන්ද උඩරට රාජධානියේ වාස්තු විද්‍යාව, සිරිත් විරිත් සහ කලාත්මක ප්‍රකාශනයන් නිරූපණය වන පරිදි ඉටි රූ නිර්මාණ මෙහි අන්තර්ගත වන අතර, සාම්ප්‍රදායික උඩරට කලා ශිල්ප සඳහා වෙන්වූ ප්‍රදර්ශන කුටි සහ පුරාණ රාජකීය භෝජන ශාලාවක්ද මෙහිදී දැකගත හැකිය. පූජ්‍ය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, පූජ්‍ය වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, පළමුවන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මූලාචාරී සහ බ්‍රිතාන්‍ย ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මෙන්ම ඇහැලේපොළ මහාධිකාරම්, කුමාරිහාමි සහ ඔවුන්ගේ දරු දෙදෙනා ඇතුළු ඓතිහාසික සහ ආගමික වශයෙන් වැදගත් චරිත 35කගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි රූ මෙහිදී නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික අභිමානය ඉස්මතු වන පරිදි නිර්මාණය කර ඇති මෙම කෞතුකාගාරය, දෙස් විදෙස් සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, වත්මන් පරපුරට උඩරට රාජධානියේ උරුමය පිළිබඳව අධ්‍යයනය කළ හැකි අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙසද මෙය ක්‍රියාත්මක වනු ඇත. ගම්පොළ පදිංචි අතුල හේරත් මහතාගේ සංකල්පයක් මත, ශ්‍රී දළදා මාළිගාවේ ඇහැලේපොළ වලව්ව කෞතුකාගාර ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 300ක ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය නිමවා තිබේ.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිවරුන්ද, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි සහ අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිවරුන්ද වැඩම කර සිටියහ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු විද්වතුන් සහ ආරාධිත අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7


gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10


gossiplanka image 11
gossiplanka image 12
gossiplanka image 13
gossiplanka image 14
gossiplanka image 15