white-house-announces-that-donald-trump-is-suffering-from-a-chronic-illness

 79 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාදවල පහළ කොටසේ ඇතිවූ සුළු ඉදිමීමක් හේතුවෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව, ඔහු නිදන්ගත ශිරා ඌනතාවය (chronic venous insufficiency) නමැති තත්ත්වයෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබේ. ජූලි 17 දාතම ලිපියක් මගින් ධවල මන්දිරය මෙම රෝගී තත්වයන් විස්තර කර නිල නිවේදනයක්ද

ප්‍රකාශයට පත් කර ඇත.වැඩිහිටියන් අතර සුලබව දක්නට ලැබෙන මෙම තත්ත්වය ඇතිවන්නේ, ශිරාවල ඇති කුඩා කපාට මගින් හෘදය වෙත රුධිරය නැවත ගෙන යාමේ ක්‍රියාවලිය දුර්වල වූ විටය. එහි ප්‍රතිඵලයක් ලෙස පාදවල රුධිරය එක්රැස් වීම සිදුවේ. ඉදිමීම, පාදවල වේදනාව හෝ කෙණ්ඩා පෙරළීම, නහර ගැට ගැසීම සහ සමේ පැහැයේ වෙනස්වීම් මෙහි රෝග ලක්ෂණ අතර වේ.

ධවල මන්දිරය මෙම රෝග විනිශ්චය විස්තර කර ඇත්තේ ට්‍රම්ප්ගේ වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතර දක්නට ලැබෙන “බරපතල නොවන සහ සුලබ තත්ත්වයක්” ලෙසයි. ඔහුගේ සියලුම රසායනාගාර සහ හෘද වාහිනී පරීක්ෂණ වාර්තා සාමාන්‍ය මට්ටමක පවතින බව අවධාරණය කර ඇති අතර,

ගැඹුරු ශිරා ත්‍රොම්බොසිස්, ධමනි රෝග, හෘදයාබාධ හෝ වකුගඩු ආබාධ වැනි වඩාත් දරුණු සංකූලතා පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවද සඳහන් කර ඇත. ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා වන කපිතාන් ෂෝන් බාබබෙලා විසින්ද මෙම කරුණු සනාථ කර ඇති අතර, ට්‍රම්ප්ගේ හෘදයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි පවතින බව ඔහු පෙන්වා දී තිබේ.

මෑත කාලීන ඡායාරූපවල ට්‍රම්ප්ගේ අතේ පිටුපස දක්නට ලැබුණු, ආලේපනවලින් සම්පූර්ණයෙන් ආවරණය නොවූ තැලීම් පිළිබඳවද යම් කතාබහක් ඇතිවිය. නිතර අතට අත දීම සහ හෘදයාබාධ හා ආඝාත අවදානම අඩුකර ගැනීම සඳහා ඔහු නිතිපතා ලබාගන්නා ඇස්ප්‍රීන් ඖෂධය භාවිතය එයට හේතුව බව ධවල මන්දිරය පැහැදිලි කළේය.



ට්‍රම්ප් 2025 අප්‍රේල් මාසයේදී පුළුල් ශාරීරික පරීක්ෂණයකට භාජනය වූ අතර, එම අවස්ථාවේදී මෙම ශිරා ආශ්‍රිත තත්ත්වය සටහන් වී නොතිබුණි. හිරු එළියෙන් සිදුවූ සුළු සමේ හානි, 2024 ජූලි මාසයේදී සිදුවූ ඝාතන තැතකින් කනේ ඇතිවූ කැළැල් සහ මහාන්ත්‍රයේ ඇතිවන ඩිවර්ටිකියුලෝසිස් (diverticulosis) තත්ත්වය හැරුණු විට, ඔහුගේ වාර්ෂික වෛද්‍ය වාර්තා මගින් ඔහු විශිෂ්ට ශාරීරික හා මානසික සෞඛ්‍යයකින් පසුවන බව සඳහන් කර තිබේ. ජනාධිපති ධුරයේ රාජකාරි ඉටුකිරීමට ඔහු 'පූර්ණ යෝග්‍යතාවයකින්' පසුවන බවත්, ඔහුගේ දෛනික ඖෂධ අතරට කොලෙස්ටරෝල් පාලනය සඳහා වන ඖෂධ, ඇස්ප්‍රීන් සහ ස්ටෙරොයිඩ් අඩංගු සමේ ආලේපනයක් ඇතුළත් වන බවත් එම වාර්තාවල දැක්වේ.

gossiplanka image 1


gossiplanka image 3