Update 7.30 pm
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය මුළුතැන්ගෙය වසා දැමීමට නියෝග කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ගාලු මුවදොර හෝටලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොළඹ මහ නගර සභාව හෝ වෙනත් කිසිදු නියාමන අධිකාරියක් විසින් එවැනි නියෝගයක් ලබා දී නොමැති බවත්, සෑම අමුත්තෙකුටම සුරක්ෂිත සහ සුවපහසු පරිසරයක් සැපයීම කෙරෙහි තම අවධානය එලෙසම පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, මෑතකදී ආහාර සම්බන්ධ සෞඛ්‍යමය ගැටලු පිළිබඳව අමුත්තන් කිහිප දෙනෙකු විසින් කළ දැනුම් දීමක් හෝටල් කළමනාකාරීත්වය පිළිගනී. අමුත්තන්ගේ සුරක්ෂිතතාවය සිය ප්‍රමුඛතම වගකීම වන බැවින්, එම දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ බව හෝටලය අවධාරණය කරයි.
එම ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස, තම මුළුතැන්ගෙය සහ ආහාර හැසිරවීමේ ස්ථාන පූර්ණ පරීක්ෂාවකට ලක් කරන මෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආරාධනා කර ඇත්තේ ද හෝටල් කළමනාකාරීත්වය විසින්මය. ඊට සමගාමීව, සියලු සෞඛ්‍ය, ආරක්ෂණ සහ සනීපාරක්ෂක ක්‍රමවේද ඉහළම මට්ටමින් ක්‍රියාත්මක වන බවට තහවුරු කරගැනීම සඳහා අභ්‍යන්තර විගණනයක් ද සිදුකර තිබේ.
ආහාර සුරක්ෂිතතාව, මෙහෙයුම්වල විධිමත්භාවය සහ ජාත්‍යන්තර විශිෂ්ටත්වය සඳහා වන සිය අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින්, ගාලු මුවදොර හෝටලය ISO 22000:2018 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා ඇති බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි. තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරගැනීම සඳහා සේවාවේ සියලු අංශ අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද ඔවුහු සඳහන් කරති.
ගාලු මුවදොර හෝටලය යනු හුදෙක් හෝටලයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ උරුමයේ ජීවමාන සංකේතයක් බව එම නිවේදනයේ දැක්වේ. වසර 160කට අධික කාලයක් පුරා දේශීය සහ විදේශීය පරම්පරා ගණනාවක් මෙන්ම ලෝක ප්‍රකට පුද්ගලයින් ද ආදරයෙන් පිළිගත් මෙම ආයතනය, එම විශිෂ්ටත්වය සහ ගෞරවය පෙරදැරිව සිය උරුමය ඉදිරියට ගෙන යන බවද සඳහන් කර තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් යම් අමුත්තෙකුට ගැටලුවක් වේ නම්, ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ පාරිභෝගික සේවා දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර, 0777 777 478 යන එම අංකය ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව ගාලු මුවදොර හෝටලය වැඩිදුරටත් දැනුම් දෙයි.
Update 12.52 PM
කොළඹ ගෝල්ෆේස් හෝටලයෙන් ලබාගත් ආහාර පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයින් කිහිප දෙනෙකු රෝගාතුර වීම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත, එහි ප්‍රධාන මුළුතැන්ගෙයෙන් කොටසක් තාවකාලිකව වසා දැමීමට කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. කෙසේ වෙතත්, හෝටල් කළමනාකාරීත්වය පවසන්නේ තම මුළුතැන්ගෙය කිසිවිටෙක වසා නොදැමූ බවත්, සිදුවූයේ පරීක්ෂාවක් පමණක් බවත්ය.
පසුගිය දිනවල හෝටලයෙන් ආහාර ගත් පාරිභෝගිකයින් කිහිප දෙනෙකු රෝගාතුර වී ඇති බවට වාර්තා විය. ඊට අමතරව, හෝටලයේ ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේද විවිධ පැමිණිලි ඉදිරිපත් වී තිබුණි. ඒ අනුව, මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වහාම විමර්ශනයක් ආරම්භ කර, පූර්වාරක්ෂණ පියවරක් ලෙස මුළුතැන්ගෙයින් කොටසක් තාවකාලිකව වසා දමන ලෙස හෝටල් කළමනාකාරීත්වයට උපදෙස් ලබා දී ඇත.
කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීමෙන් අනතුරුව මුළුතැන්ගෙය නැවත විවෘත කිරීමට අවසර ලබාදුන් බවයි. එමෙන්ම, පරීක්ෂණ සඳහා මුළුතැන්ගෙයින් ලබාගත් සාම්පලයක් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවද ඔහු පැවසීය.
මෙම වාර්තා පළවීමෙන් අනතුරුව, ගෝල්ෆේස් හෝටලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින්, තම මුළුතැන්ගෙය කිසිවිටෙකත් වසා නොදැමූ බවත්, මහ නගර සභා නිලධාරීන් පැමිණියේ පරීක්ෂාවක් සඳහා පමණක් බවත් තරයේ කියා සිටියේය. මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval