හැටන් සිංගිමලේ ජලාශයට පාසල් සිසුවකු වැටී ජීවිතක්ෂයට පත්වීමේ ශෝචනීය සිදුවීම හේතුවෙන්, එම ජලාශයෙන් ජලය ලබාගැනීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ වැඩබලන නිලධාරී ලාල් විජේනායක මහතා සඳහන් කළේ මෙම තීරණය 08 වන දා සිට ක්‍රියාත්මක වන බවයි.
මෙම සිදුවීමත් සමග ජලාශයේ ජලයේ සුරක්ෂිතතාව පිළිබඳව සොයා බැලීම සඳහා අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී තිළිණි මහත්මිය සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිංගිමලේ රක්ෂිත ප්‍රදේශයේ ඡායාරූප ගැනීම සඳහා ගිය මිතුරන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත පැමිණෙමින් සිටියදී, ජලාශ වේල්ල මතදී පා සෝදා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොටගල කේම්බ්‍රිජ් විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 18 හැවිරිදි රාම් මූර්ති තමිල් මාරන් නම් සිසුවෙකි. අතුරුදන්ව සිටි සිසුවාගේ දේහය 09 වන දා නාවික හමුදා කිමිඳුම්කරුවන් විසින් ගොඩගත් අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා පැවසීය.
ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට පාසල් සිසුන් ඇතුළු බොහෝ දෙනෙකු නිරන්තරයෙන් පැමිණෙන බැවින්, එම ස්ථානයට ඇතුළුවීම තහනම් කිරීම,
ආරක්ෂිත වැටක් ඉදි කිරීම හෝ දිවා කාලය සඳහා මුරකරුවකු යෙදවීම වැනි පියවරක් ගන්නා ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය විසින් ජල සම්පාදන මණ්ඩලයට නිර්දේශ කර තිබේ.
මේ වන විටත් ජලාශයෙන් ලබාගත් ජල සාම්පලයක් ජල සම්පාදන මණ්ඩලයේ රසායනාගාරය වෙත යොමු කර ඇති බව වැඩබලන නිලධාරී ලාල් විජේනායක මහතා සඳහන් කළේය. එම වාර්තාව ලැබීමෙන් අනතුරුව උසස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි ඉදිරි පියවර ගන්නා බවද ඔහු පැවසීය. සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා නොගන්නා කාලය තුළ හැටන් සහ දික්ඔය ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහා ඉන්වේරි ජල මූලාශ්‍රයෙන් ලබාගන්නා ජලය පිරිපහදු කර සීමා සහිතව නිකුත් කරන අතර, එමගින් ජල සැපයුමට බාධාවක් වී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval