vehicle-prices-are-rising-rapidly-importers-association

 මෙරට වාහන මිල ඉදිරියේදී යළි ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙන්නේ, මෙම වසර සඳහා වාහන ආනයනය කිරීමට වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක ප්‍රතිපාදනයෙන් විශාල කොටසක් මේ වන විටත් අවසන් වී තිබීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.



මහ බැංකු වාර්තා උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, වසර පුරාවටම වාහන ආනයනය සඳහා වෙන් කළ මුදලින් ඩොලර් මිලියන 800ක් සඳහා මේ වනවිටත් ණයවර ලිපි විවෘත කර ඇති බවයි. ඒ අනුව, වසරේ ඉතිරි කාලසීමාව සඳහා ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 200ක සාපේක්ෂව කුඩා මුදලක් පමණක් බව ඔහු අවධාරණය කළේය.



වසර පහක පමණ කාලයක් පැවති ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මෙරටට වාහන ගෙන්වීම ආරම්භ වූ අතර, මේ වන විට ආනයනය කර ඇති මුළු වාහන සංඛ්‍යාව නව දහසකට ආසන්න වේ. වාහන ආනයනය මේ වන විට රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවටද පත්ව ඇති පසුබිමක, මෙම ඩොලර් ප්‍රතිපාදන කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට තම සංගමය සූදානම් බවද ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේය.

මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රතිපාදනය නිසි පරිදි කළමනාකරණය වූයේ නම් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිව තිබූ බවද ඔහු පෙන්වා දෙයි. මෙරට තුළම නිෂ්පාදනය කළ හැකි ඇතැම් දෑ සඳහා මෙන්ම, දේශීයව එකලස් කරන වාහන සඳහාද විදේශ විනිමය අනවශ්‍ය ලෙස පිටතට ගලා ගොස් ඇති බවට ඔහු චෝදනා කළේය. රජය බදු සහන ලබා දෙමින් දේශීයව වාහන එකලස් කිරීම දිරිගැන්වූවද, එමඟින් එකදු වාහනයක් හෝ අපනයනය කිරීමට මෙතෙක් හැකි වී නොමැති බවත්, ඇතැම් වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව වැනි කරුණු පිළිබඳව ගැටලු පවතින බවත් ඔහු කියා සිටියේය.



ඉල්ලුම සහ සැපයුම මත වාහන මිල තීරණය වන බැවින්, ආනයනය සඳහා පවතින ඩොලර් ප්‍රමාණය සීමා වීම සැපයුම අඩාල කිරීමට සෘජුවම බලපානු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට වෙළෙඳපොළේ පවතින වාහනවල මිල ගණන් ඉහළ යාම නොවැළැක්විය හැකි බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, දැනට ඉතිරිව ඇති ඩොලර් මිලියන 200ට අමතරව තවත් ඩොලර් මිලියන 500ක පමණ මුදලක් වෙන් කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය රජය සතු බව ප්‍රසාද් මානගේ මහතා අවධාරණය කළේය.