update-body-of-girlfriend-who-jumped-into-vienna-canal-for-boyfriend-found

 මහියංගණය, 17 කණුව ප්‍රදේශයේදී වියානා ඇළට වැටුණු සිය පෙම්වතා බේරාගැනීමට උත්සාහ දැරීමේදී දියේ ගිලී අතුරුදන්ව සිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියගේ මළ සිරුර අද (21) දහවල් සොයාගෙන තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියකි. 

කොළඹ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී සිය පෙම්වතා සමග මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වේ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථය ඊයේ (20) පස්වරුවේ වියානා ඇළ අසල නතර කර ඇති අතර, එහිදී ඇළ ඉවුරේ සිටි තරුණයා හදිසියේම ලිස්සා ගොස් ජලයට ඇද වැටී තිබේ. දිය පහරට හසුව ගසාගෙන යමින් සිටි ඔහුව බේරාගැනීමේ අරමුණින් තරුණියද වහාම ජලයට පැන ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ මැදිහත්වීමෙන් දියේ ගසාගෙන යමින් සිටි තරුණයාගේ ජීවිතය බේරාගැනීමට හැකිවී තිබේ. කෙසේ වෙතත්, වේගවත් දිය පහරට හසුවූ තරුණිය ගසාගෙන ගොස් අතුරුදන් වීමෙන් අනතුරුව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දියත් කළ සෝදිසි මෙහෙයුමකදී ඇයගේ දේහය අද දින සොයාගන්නා ලදී.