
අද ( 21) දහවල් බංග්ලාදේශයේ ඩකා අගනුවර ගුවන් අනතුරක් වාර්තාවී තිබේ. බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් ඩකා නුවර උත්තරා ප්‍රදේශයේ පිහිටි මයිල්ස්ටෝන් විද්‍යාල භූමියට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවිය. මෙම සිදුවීමෙන් 19 මියගොස් ඇති අතර,සිසුන් ඇතුළු 169 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම අනතුර සිදුවී ඇත්තේ දේශීය වේලාවෙන් පස්වරු 1:06 ට පමණ යානය ගුවන් ගත වී සුළු වේලාවකට පසුවය. අනතුරට පත් යානය, බංග්ලාදේශ ගුවන් හමුදාව විසින් පුහුණුවීම් සඳහා බහුලව භාවිත කරන චීන නිෂ්පාදිත F-7 BGI වර්ගයේ පුහුණු ජෙට් යානයකි.
පන්ති පැවැත්වෙමින් තිබූ අවස්ථාවක යානය පාසල් භූමියේ ප්‍රධාන දොරටුව සහ ඒ ආසන්නයේ වූ ගොඩනැගිලි මතට කඩා වැටී ඇත.
අනතුරත් සමඟම ගිනිගත් යානයෙන් නැඟුණු අධික දුමාරය දුර ප්‍රදේශවලට පවා දර්ශනය වී ඇති බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ වාර්තා කළහ. ගිනි නිවන ඒකක අටක්, බංග්ලාදේශ යුධ හමුදාව සහ හදිසි සේවා කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත්වීමට සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී. තුවාල ලැබූවන් අතර පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු ද වන බව වාර්තා වේ.
බංග්ලාදේශ යුධ හමුදාවේ මහජන සම්බන්ධතා කාර්යාලය අනතුරට පත් යානයේ වර්ගය තහවුරු කළ නමුත්, අනතුරට හේතුව හෝ නියමුවාගේ තත්ත්වය පිළිබඳව තාක්ෂණිකව තොරතුරු හෙළි නොකළේය. බලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂාව සලසා ඇති අතර, අනතුරට තුඩුදුන් හේතු සොයා බැලීම සඳහා අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) අංශය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
F-7 BGI වර්ගයේ ගුවන් යානා බංග්ලාදේශ ගුවන් හමුදාවේ පුහුණු කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් යොදාගන්නා අතර, මීට පෙරද ලෝකයේ විවිධ රටවලදී මෙම වර්ගයේ යානා අනතුරුවලට ලක්වී ඇත. කෙසේ වෙතත්, බංග්ලාදේශය තුළ මෙවැනි යානයක් ජනාකීර්ණ සිවිල් ප්‍රදේශයකට කඩා වැටීම අතිශය විරල සිදුවීමකි. අනතුර සිදුවන අවස්ථාවේ පාසල් භූමිය සිසුන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් පිරී පැවතීම හේතුවෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වූ බව විශ්වාස කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval