university-students-are-stressed-due-to-pressure-when-issuing-class-passes

 විශ්වවිද්‍යාල පද්ධතියේ ලකුණු සහ පන්ති සාමාර්ථ ලබාදීමේදී පරිපාලනයෙන් මෙන්ම ආචාර්යවරුන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් සරසවි සිසුන් ආතතියට පත්වී ඇතැයි උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාරිය සාධක බළකාය අධ්‍යාපන අමාත්‍යාංශයට පෙන්වා දී තිබේ.




නවක වදය වැනි හිංසනකාරී සිදුවීම්වලට අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩනැඟී නොතිබීම, නවක වදය පිළිබඳ සිසුන් තුළ පවතින වැරැදි ආකල්ප, අවනත කරගැනීම සහ ගෞරවය ලබා ගැනීමට හිංසනය භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් හේතුවී ඇතැයි එම කාර්ය සාධක බළකාය දැනුම් දී ඇත.




උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බළකායේ සාමාජිකයන් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පසුගියදා (02දා) පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර තිබේ.මෙම කාර්ය සාධක බළකායට වසර තුනක් දක්වා අවශ්‍ය බලය හා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව අගමැතිවරිය මෙහිදී පැවැසුවාය.


විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන් මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සිදුකරන සියලු ආකාරයේ හිංසනයන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීමට මෙම කාර්ය සාධක බළකායට

සහාය ලබාදෙන බවද ඇය සඳහන් කළාය.උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස ඇමැතිවර්ය මෙහිදී උපදෙස් ලබාදුන්නාය.


සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීමට කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙසද අමරසූරිය මෙනෙවිය දැනුම් දුන්නාය. විශ්වවිද්‍යාලවල පවතින හිංසන ක්‍රියා නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් අවසන් කළ නොහැකි බවත්, පවතින නීති යාවත්කාලීන කර ආකල්ප සංවර්ධන වැඩසටහන් සංවිධානය කළ යුතු බවත් අගමැතිවරිය පැවැසුවාය.