කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කිරීමේ චෝදනාව මත මාස හතරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඇප ලබා දීමට ගම්පහ මහාධිකරණය ඊයේ (03) නියෝග කළේය.
ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. කේ. ඩී. විජයරත්න මහතා හමුවේ මෙම ඇප අයදුම්පත සලකා බැලුණු අතර, එහිදී මර්වින් සිල්වා මහතාට අමතරව කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වෛද්‍ය ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන අයටද ඇප නියම විය.
ඒ අනුව, එක් එක් විත්තිකරු සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප පහක් මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය. තවද, විත්තිකරුවන් තිදෙනාටම විදේශ ගමන් තහනමක් පැනවූ අධිකරණය, නඩුවේ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් කිරීමෙන් වළකින ලෙසට දැඩි ලෙස අවවාද කළේය. සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද ඔවුන්ට නියෝග කෙරිණි.
මෙම චෝදනාවට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගිය මාර්තු මස 05 වන දින කොළඹ, නාරාහේන්පිට පිහිටි සිය නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval