
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වය වෙනස් කළ බවට එක් පාර්ශ්වයක් විසින් සිදුකළ ප්‍රකාශයක් සමඟ, එකම නාමය යටතේ ශිෂ්‍ය සංවිධාන දෙකක් ක්‍රියාත්මක වීමේ තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය මත මෙතෙක් පැවති ශිෂ්‍ය බල මණ්ඩලය එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්ගේ නායකත්වයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසිඳු පෙරේරාගේ කැඳවුම්කාරීත්වයෙන් නව ශිෂ්‍ය බල මණ්ඩලයක් ද සිය කටයුතු ආරම්භ කර තිබේ.
නව ශිෂ්‍ය බල මණ්ඩලය පිහිටුවාගත් පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ කොළඹ සහ මොරටුව වැනි මෙතෙක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය හිමි නොවූ විශ්වවිද්‍යාල කිහිපයක ශිෂ්‍ය සංගම් මෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය ආයතනය සහ ඌව වෙල්ලස්ස, වවුනියාව වැනි විශ්වවිද්‍යාලවල පීඨ ශිෂ්‍ය සංගම් කිහිපයක් එක්ව මෙම නව නායකත්වය පිහිටවූ බවයි.
ඔවුන් "අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය" යන නමින්ම නව සමාජ මාධ්‍ය පිටු නිර්මාණය කර, සිය නව කැඳවුම්කරු ලෙස සසිඳු පෙරේරා පත් වූ බවට නිවේදන ද නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, මධුෂාන් චන්ද්‍රජිත්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන පැරණි ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙන්නේ කැලණිය, සබරගමුව, රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, නැගෙනහිර, වයඹ ඇතුළු විශ්වවිද්‍යාල රැසක පීඨ ශිෂ්‍ය සංගම් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය තවදුරටත් තමන් සමඟ කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය ආයතනයක ලියාපදිංචි නොවූ,
ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විශේෂත්වයකි.
දැනට ක්‍රියාත්මක බල මණ්ඩලය චෝදනා කරන්නේ, ආණ්ඩුවේ අධ්‍යාපන වෙළඳ භාණ්ඩයක් කිරීමේ වැඩපිළිවෙළට එරෙහි ප්‍රධානතම බාධකය වන ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීමේ අරමුණින්, රජය විසින් තම රූකඩ යොදා ගනිමින් මෙම ව්‍යාජ සංවිධානය නිර්මාණය කර ඇති බවයි. සිය නිල ලාංඡනය සහ ලිපි ශීර්ෂ අවභාවිත කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට දරන නිර්ලජ්ජිත උත්සාහයක් ලෙස ඔවුන් මෙය හඳුන්වයි.
දශක හතරකට අධික ඉතිහාසයක් පුරා නිදහස් අධ්‍යාපනය සුරැකීමට සටන් කළ බවත්, සයිටම් උපාධි කඩය සහ කොතලාවල පනත පරාජය කිරීමේ සිට 2022 ජන අරගලය දක්වා තීරණාත්මක භූමිකාවක් ඉටුකළ බවත් පවසන මධුෂාන් චන්ද්‍රජිත්ගේ පාර්ශ්වය, මෙම ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටී ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව පෙරට එන ලෙස විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බැවින් නව සංවිධානය ඉබේම අක්‍රිය වනු ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval