the-boy-stole-17-bikes-and-hid-them-in-his-girlfriends-house

 දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුකළ සංවිධානාත්මක යතුරුපැදි සොරකම් මාලාවකට සම්බන්ධ තරුණයන් තිදෙනෙකු සහ එම අපරාධ සඳහා ආධාර අනුබල දුන් තරුණියක ගිරිඋල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී සොරාගත් යතුරුපැදි කිහිපයක් ද පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇත.

අත්අඩංගුවට පත් තරුණයන් තිදෙනා වයස අවුරුදු 20ක පසුවන්නන් වන අතර ඔවුන් කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මෙම සොරකමට අනුබල දුන් 17 හැවිරිදි තරුණිය බඩල්ගම, කටුකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය ප්‍රධාන සැකකරුගේ පෙම්වතිය බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකාර තරුණයන් තිදෙනාම මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූවන් බවට ද තොරතුරු ලැබී ඇත.

කුලියාපිටිය, මීගමුව සහ දළුවකොටුව වැනි ප්‍රදේශවලින් සොරකම් කරනු ලබන යතුරුපැදි, ප්‍රධාන සැකකරුගේ 17 හැවිරිදි පෙම්වතියගේ නිවසේ සඟවා තැබීමට මෙම කල්ලිය ක්‍රියා කර තිබේ. පසුව එම යතුරුපැදිවල අංක තහඩු ඉවත් කර, තරුණියගේ පියාද සම්බන්ධ කරගනිමින් පන්නල, බෝපිටිය සහ ගිරිඋල්ල මැද්දෙපොළ යන ප්‍රදේශවල පුද්ගලයන්ට ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවට සිදුකළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

එලෙස අලෙවි කිරීමට අමතරව එක් යතුරුපැදියක් සැකකාරියගේ පියාට උපන්දින තෑග්ගක් ලෙස ලබා දී ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ පූර්ණ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදුකර ඇත. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රන්ජන් ප්‍රියන්ත, නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත්, පොලිස් සැරයන්වරුන් වන රංජිත් (30538) සහ ප්‍රදීප් (60893) සමඟ පොලිස් කොස්තාපල් රියදුරු ජයතිලක (49234) යන නිලධාරීහු මෙම විමර්ශනයට සහ වැටලීමට එක්ව සිටියහ.