living-is-difficult-if-pension-is-cut-we-will-go-to-geneva-former-mps-union

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයකට එරෙහිව, ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය වෙත පැමිණිලි කිරීමට සූදානම් බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව දැනුම් දෙයි.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම්, හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ,

අදාළ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය මේ වන විටත් තීරණය කර ඇති බවයි. මෙම පියවර අතිශයින්ම අසාධාරණ ක්‍රියාවක් ලෙසද ඒ මහතා හඳුන්වයි.

මෙම තීරණය හේතුවෙන්, සිය දෛනික ඖෂධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පවා විශ්‍රාම වැටුප අපේක්ෂාවෙන් සිටින වයෝවෘද්ධ හිටපු මන්ත්‍රීවරුන් රැසක් දැඩි අපහසුතාවකට පත්වනු ඇති බව ප්‍රේමසිරි මානගේ මහතා අවධාරණය කරයි.

දැනටමත් එම විශ්‍රාම වැටුපෙන් පවුලක මූලික අවශ්‍යතා හෝ සපුරාගත නොහැකි තත්ත්වයක් පවතින පසුබිමක, එය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමෙන් ඇතිවන බරපතල තත්ත්වය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඒ මහතා රජයෙන් ඉල්ලා සිටී.