gossiplanka image 1

රුසියාවේ නැගෙනහිර කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදු පත්ලේ, රික්ටර් මාපකයේ ඒකක 8.8 ක ප්‍රබල භූ කම්පනයක් අද (ජූලි 30) දේශීය වේලාවෙන් පෙ.ව. 11:25 ට පමණ සිදුවිය. මෙම ප්‍රබල කම්පනයත් සමග පැසිෆික් කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 



භූ කම්පනයෙන් අනතුරුව, රුසියාවේ සකාලින් ප්‍රදේශයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, කුරිල් දූපත්වල සහ සෙවෙරෝ-කුරිල්ස්ක් දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇත. සෙවෙරෝ-කුරිල්ස්ක් වරාය නගරයට සුනාමි රළ කඩා වදින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, ප්‍රදේශයේ විදුලිබල පද්ධතියට හානි සිදුවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර තිබේ.

ජපානය මිලියන 1.9 කට ආසන්න ජනතාවකට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති අතර, එරට උතුරු වෙරළ තීරයට සෙන්ටිමීටර 40 ක පමණ උසකින් යුතු මුල්ම රළ පහරවල් ළඟා වී තිබේ. කෙසේ වෙතත්, ඉදිරියේදී පැමිණිය හැකි සුනාමි රළ මීටර් 3 ක් දක්වා උස විය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවයි. එමෙන්ම, මෙම සුනාමි අවදානම දිනකට වඩා වැඩි කාලයක් පැවතිය හැකි බවටද ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

මේ අතර, චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව සහ නවසීලන්තය වැනි රටවල් ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින්, වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දී තිබේ. කැලිෆෝනියාවේ බලධාරීන් ද ජනතාවගෙන් වෙරළ තීරයෙන් ඈත්ව සිටින ලෙස ඉල්ලා ඇත.



සුනාමි අනතුරට මුහුණ දීම සඳහා හවායි බලධාරීන් පුළුල් පියවර ගනිමින් සිටී. හොනලුලු නගරාධිපතිවරයා පහත් බිම්වල වෙසෙන ජනතාවගෙන් වහාම උස් බිම් කරා යන ලෙස ඉල්ලා ඇති අතර, මාවුයි දූපතේ වෙරළබඩ ප්‍රදේශ රැසක ජල සැපයුම සහ අපජල පද්ධති තාවකාලිකව නවත්වා තිබේ. හවායි වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානා කිහිපයක් ද ආපසු හරවා යවා ඇති අතර, සියලුම වරායන් වසා දමා තිබේ.

මාවුයි දූපතේ පදිංචිකාරියක වන ෆෙලීෂියා ජොන්සන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මුහුදු ජලය මුලින් බැස ගොස්, පසුව සැලකිය යුතු ලෙස ඉහළ යනු තමන් දුටු බවයි. ඇය සිය පවුලේ අය සමග කඳුකර ප්‍රදේශයක රාත්‍රිය ගත කිරීමට සූදානම් වන බවද පවසා තිබේ. මේ අතර, ජපානය සහ හවායි අතර පිහිටි මිඩ්වේ දූපත පසුකර අඩි 6 (1.8 m) ක උසකින් යුතු රළ පහරක් ගමන් කර ඇති බව හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් තහවුරු කළේය.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ මේ වන විට සුනාමි රළ හවායි දූපත් වෙත ළඟා වෙමින් පවතින බවයි. ඕආහු දූපතේ හැලිවා ප්‍රදේශයේදී අඩි 4 (1.21 m) ක උසම රළ පහරක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, හවායි ආණ්ඩුකාරවරයා පවසා සිටියේ, "මෙතෙක් බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන රළ පහරක් අප දැක නැති" නමුත්, තවමත් පූර්ණ වශයෙන් අනතුර පහව ගොස් නොමැති බවත්, ඒ සඳහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවත්ය.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3


SEVERO-KURILSK