මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසි මහතාගේ ඉංග්‍රීසි සහ භෞතික විද්‍යා ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙකු වීම තමාට මහත් ආඩම්බරයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මාලදිවයින් සංචාරයේදී ප්‍රකාශ කළේය. එරට සමාජ හා ආර්ථික ප්‍රගමනයට විවිධ අයුරින් දායක වූ මෙන්ම, ගුරුවරුන් ලෙස දහස් සංඛ්‍යාත මාලදිවයින් වැසියන්ට දැනුම ලබාදුන් ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳවද තමා ආඩම්බර වන බව ඒ මහතා පැවසීය.
ජනාධිපති දිසානායක මහතා මෙම අදහස් පළ කළේ,
ඔහු වෙනුවෙන් කුරුම්බා මෝල්ඩිව්ස් (Kurumba Maldives) නිවාඩු නිකේතනයේදී (28) දා රාත්‍රියේ පැවති නිල රාත්‍රි භෝජන සංග්‍රහය අමතමිනි. ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු සහ හවුල්කරුවෙකු වන සුන්දර මාලදිවයිනට පැමිණීමට ලැබීම ගෞරවයක් බවත්, මෙම සංචාරය දෙරට අතර පවතින ශක්තිමත් බැඳීම තවදුරටත් වර්ධනය කරන්නක් බවත් ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා රාජ්‍ය තාන්ත්‍රික මට්ටම ඉක්මවා බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත්ව පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දෙරට අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර ගණනාවක ඉතිහාසයක් ඇති බවද සිහිපත් කළේය. මෙම සංචාරය එම ඓතිහාසික සබඳතාවලට නව වැදගත්කමක් එක් කරන බවද ඔහු විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලාංකික සංගීතඥ, දිවංගත මහාචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් විසින් නිදහස් මාලදිවයිනේ ජාතික ගීයේ තනුව නිර්මාණය කිරීම දෙරට අතර පවතින සුවිශේෂී බැඳීමට කදිම නිදසුනක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම, දෙරටේ හවුල්කාරීත්වය කලාපයේ අසල්වැසි රාජ්‍යයන් අතර පැවතිය යුතු සහයෝගීතාවයට சிறந்த ආදර්ශයක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval