dr-tamara-kalubowila-appointed-as-new-chairman-of-sri-jayewardenepura-general-hospital

වෛද්‍ය තමර කළුබෝවිල මහතා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජූලි 29 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඒ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.



කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය කළුබෝවිල මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍යවේදී (MBBS) උපාධිය ලබා 1986 වසරේදී වෛද්‍ය වෘත්තියට පිවිසියේය.

සිය වෛද්‍ය දිවිය පානදුර රෝහලෙන් ආරම්භ කළ ඒ මහතා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH), ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS), මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MO/MCH) සහ ආයතන භාර වෛද්‍ය නිලධාරී ඇතුළු විවිධ තනතුරු හොබවා ඇත.

පසුව ඔහු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට යොමු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

2002 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් වෛද්‍ය කළුබෝවිල මහතා, පානදුර රෝහල, හොරණ රෝහල, කළුතර මහ රෝහල, කළුතර සෞඛ්‍ය විද්‍යායතනය අධ්‍යක්ෂවරයා ලෙසත්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර තිබේ.

වෛද්‍ය තමර කළුබෝවිල මහතා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපතිවරයා ලෙස අද (30) උදෑසන නිල වශයෙන් වැඩ භාරගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.