මිද්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වන හද කම්පා කරවන සුළු සිදුවීමකින්, නිවසේදී රඹුටන් ගෙඩියක රස බලමින් සිටි පස් හැවිරිදි කුඩා දරුවෙකුගේ ජීවිතය අවාසනාවන්ත ලෙස අහිමි වී තිබේ. මෙම හදිසි මරණයට හේතු වී ඇත්තේ දරුවාගේ උගුරේ රඹුටන් ඇටයක් සිරවීම බව අනාවරණය වී ඇත.
දරුවාට රඹුටන් ඇටය සිරවී ඇති බව අවබෝධ කරගත් නිවැසියන්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් කඩිනමින් ඔහුව වලස්මුල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහෙත්, රෝහල වෙත රැගෙන එන විටත් එම දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලක බාලම පිරිමි දරුවා වන අතර, දරාගත නොහැකි වූ ශෝකය හේතුවෙන් දරුවාගේ මව ද සිහිසුන්ව රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
මිද්දෙණිය, පල්ලේ ජූලම්පිටිය ප්‍රදේශයේ අද දහවල් සිදු වූ මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විසින් සටහන් තබාගෙන තිබේ. මියගිය දරුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා තංගල්ල මූලික රෝහල වෙත යොමු කර ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval