teacher-who-abused-kotahena-student-who-committed-suicide-appears-in-court

 කොටහේන ප්‍රදේශයේදී ගොඩනැගිල්ලකින් පැන සියදිවි නසාගත් බවට සැලකෙන අම්ෂිකා නමැති පාසල් දැරිය අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී ඇති ගුරුවරයා සේවය කළ පාසලේ ආරක්ෂක කැමරා දර්ශන සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ ඉල්ලීමක් සලකා බලමින්, අදාළ දර්ශන පටිගත වූ ඩී.වී.ආර්. යන්ත්‍රය මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.



මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් කරුණු දක්වමින් පවසා සිටියේ, විමර්ශනයට අත්‍යවශ්‍ය මෙම ආරක්ෂක කැමරා දර්ශන ඇතුළත් ඩී.වී.ආර්. යන්ත්‍රය, වෙනත් විමර්ශනයක් සඳහා මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත රැගෙන ගොස් ඇති බවයි. එසේ රැගෙන යාමේදී එහි වූ ඇතැම් දර්ශන මකා දමා ඇත්දැයි යන්න පිළිබඳව සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ සහාය ලබාගැනීමේ අවශ්‍යතාව පොලිසිය විසින් පෙන්වා දෙනු ලැබිණි.

මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණු පාසල් ගුරුවරයා ද ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය අප්‍රේල් මස 29 වන දින කොටහේන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වන මහලින් පැන මෙම දැරිය සියදිවි නසාගත් බවට වාර්තා වූ අතර, එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරයි.

ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා, නඩුව නැවත ජූලි මස 28 වන දින කැඳවීමට දින නියම කළේය. එදිනට විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට වැඩිදුරටත් නියෝග කෙරිණි.