
ඉන්ධන මිල ඉහළ ගිය ද ත්‍රිරෝද රථ ගාස්තු සහ පාසල් දරුවන් පුවාහනය කරන වෑන් රථ ගාස්තු ඉහළ නොදමන බව එම ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති ඊයේ (1) පැවසීය. ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් පෙරේදා (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීය.
මෙරට ප්‍රධානම පොදු ප්‍රවාහන සේවය වන පෞද්ගලික සහ ලංගම බස් රථ ගාස්තුව සංශෝධනය කරනවාද නැද්ද යන තීරණය ප්‍රමාද කිරිමට බලධාරින් තීරණය කර ඇත.වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමීව මේ අවස්ථාවේ බස් ගාස්තුවේ වෙනසක් අවශ්‍ය නොවන බවද පෞද්ගලික බස් රථ සංගම සඳහන් කරයි.
ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ දැමීම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කදැමිය යුතු බව ද ඔහු සඳහන් කළේය. දශම ගණනකින් බස් ගාස්තු සංශෝධනයක් කිරීමෙන් එහි වාසිය මගියාට නොලැබෙන බවද විජේරත්න මහතා කීවේය.
බස් ගාස්තු සංශෝධනයේ දී ඉන්ධන, බස් රථ අමතර කොටස් ආදියේ මිල සහ බදු ඇතුළු කරුණු 12 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද ඔහු පැවසීය. මේ අතර පෙට්‍රල් මිල රුපියල් 12 කින් ඉහළ ගිය ද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.
ඉන්ධන මිල ඉහළ ගිය ද පහළ ගියද ත්‍රිරෝද රථ ගාස්තු තීරණය කිරීමට ත්‍රිරෝද රථ වෘත්තීය
සංගම්වලට බලයක් නොමැති බවත් එම ගාස්තුව සමස්ත රටටම තීරණ කිරීමේ නීතිමය බලය ජාතික ගමනාගමන කොමිසමට ද, බස්නාහිර පළාත නම් එම බලය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද ලැබී ඇති බවත් ධර්මසේකර මහතා කීය.
මීට පෙර අවස්ථා කීපයකදී පෙට්‍රල් මිල පහළ දැමුව ද ත්‍රිරෝද රථ ගාස්තු පහළ නොදැමීම නිසා පෙට්‍රල් මිල ඉහළ ගිය වහාම ගාස්තු ඉහළ දැමීමේ සදාචාරාත්මක හැකියාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කීය. ත්‍රිරෝද රථ ගාස්තු නියාමනය කිරීමේ නීතිමය බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට (එන්.ටී.සී.) ඇති බවත් එය එසේ වුවද ත්‍රිරෝද රථ ගාස්තු සකස්කර නොමැති බවත් එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවාය. බස් ගාස්තු සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval