the-ministry-of-health-paid-ot-of-rs-3923-crores-without-considering-fingerprint-machines

 ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 3923ක දැවැන්ත මුදලක් නීති විරෝධී ලෙස අතිකාල සහ නිවාඩු දින වැටුප් වශයෙන් ගෙවා ඇති බව අනාවරණය වේ. රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවක පැමිණීම සටහන් කිරීම සඳහා රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කරමින් මිලදී ගෙන ස්ථාපිත කරන ලද ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අක්‍රියව පවතින පසුබිමක මෙම අක්‍රමිකතාව සිදුවී ඇත.





මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ, පවතින වැටුප් ක්‍රමයට අනුව අතිකාල දීමනා ගෙවීමෙන් වළකින ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පැහැදිලිවම උපදෙස් ලබා දී තිබිණි. එහෙත්, එම නිල උපදෙස මුළුමනින්ම නොසලකා හරිමින් 2023 වර්ෂය සඳහා මෙම අතිවිශාල අතිකාල සහ නිවාඩු දින වැටුප් ගෙවීම් සිදුකර ඇති බව විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

අදාළ වර්ෂය තුළ අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් සඳහා ගෙවා ඇති මුදල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමස්ත වැටුප් පිරිවැයෙන් සියයට 72ක් වැනි ඉතා ඉහළ ප්‍රතිශතයක් ගැනීම විශේෂත්වයකි. මෙම තත්ත්වය, අමාත්‍යාංශයේ මූල්‍ය විනය පිළිබඳව බරපතල ගැටලු මතුකරන බව විගණන වාර්තාවේ දත්ත මගින් ගම්‍ය වේ.

සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය පිළිබඳව ද විගණනයේදී අවධානය යොමු වී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වන තිරසර සංවර්ධන දර්ශක 31 අතුරින් 13ක් සඳහා 2023 වර්ෂයට අදාළව කිසිදු ප්‍රගතියක් වාර්තා කර නොමැති බව හෙළිදරව් වී තිබේ. ඊටත් අමතරව,

ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක 12 සම්බන්ධයෙන් ද අපේක්ෂිත කාර්ය සාධන ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මීට අමතරව, 2022 සහ 2023 යන වර්ෂවලදී සිදුකරන ලද රුපියල් කෝටි 2200 ඉක්මවූ වටිනාකමකින් යුතු හදිසි ප්‍රසම්පාදන 663ක් සම්බන්ධයෙන් ද විගණන වාර්තාවේ අවධානය යොමුව ඇත. මෙම ප්‍රසම්පාදන සඳහා එවකට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නොතිබීම බරපතල පටිපාටිමය උල්ලංඝනයක් බවද එහි සඳහන් වේ.