a-new-law-for-country-jobs

 ස්වයංව රැකියා සොයාගෙන කර්මාන්ත සහ ආයතනික අංශ සඳහා විදේශ ගත වන පුද්ගලයින්, තම රැකියා ගිවිසුම අනිවාර්යයෙන්ම අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය මගින් සහතික කර ගත යුතු බවට නව නීතියක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙම නීතිය මේ වන විටත් ක්‍රියාත්මක බවයි.



මෙම නව රෙගුලාසිය දැනට රටවල් 13ක් සඳහා බලපැවැත්වෙන බව කාර්යාංශය පෙන්වා දෙයි. සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාව එම රටවල් අතර වේ.

මෙම ක්‍රමවේදය යටතේ කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රමිකයෙකු,

පළමුව තම සේවා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කම්කරු හා සුබසාධන අංශය වෙත ඉදිරිපත් කර සහතික කරවා ගත යුතුය. මෙම සත්‍යාපනය සඳහා ඇමරිකානු ඩොලර් 60ක ගාස්තුවක් අය කෙරෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

කෙසේ වෙතත්, වෘත්තීය කාණ්ඩවල රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගත වන පුද්ගලයින් සඳහා මෙම අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමක් ලබා දී ඇත. තම වෘත්තීයභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රයක් හෝ එම වෘත්තිය තහවුරු කළ හැකි වෙනත් ලියකියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, ඔවුන්ට දූත මණ්ඩල කාර්යාලය හරහා රැකියා ගිවිසුම සහතික කර ගැනීම අනිවාර්ය නොවන බව කාර්යාංශය සඳහන් කරයි.

මෙම නව නීතිය හඳුන්වා දීමට මූලික හේතුව වී ඇත්තේ,

මෑත කාලයේදී මිනිස් ජාවාරම්වලට හසුවීම හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී මුහුණ දුන් අපහසුතාවයන්ය. ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර, ආරක්ෂාකාරීව විදේශ රැකියා සඳහා යොමු කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.