three-night-stalls-in-dehiwala-caught-selling-stale-food

 දෙහිවල නගර සභා බල ප්‍රදේශයේ පසුගිය 18 වන දා රාත්‍රියේ සිදුකළ හදිසි ආහාර වැටලීමකදී, මහජන පරිභෝජනයට නුසුදුසු ආහාර පිළියෙළ කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත. මෙම වැටලීමේදී,

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වර්ග හතක්, හිමිකරුවන්ගේම එකඟතාව මත එම ස්ථානවලදීම විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත් බව දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.එච්. වසන්ත පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.



මෙම වැටලීම, නගර වැසියන්ට සෞඛ්‍යාරක්ෂිත සහ පිරිසිදු ආහාර ලබාදීමේ විශේෂ වැඩසටහනක කොටසක් ලෙස ක්‍රියාත්මක වී තිබේ. දෙහිවල-ගල්කිස්ස නගරාධිපති පැරකුම් ශාන්ත, නාගරික කොමසාරිස් ඒ.එච්. විදුර සම්පත් සහ නියෝජ්‍ය නාගරික කොමසාරිස් අනූෂා කුමාරි යන මහත්ම මහත්මීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන දියත් කර ඇත.

වැටලීම මෙහෙයවූ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම විසින් ආපනශාලා, හෝටල්, සහ වෙළෙඳසල් දොළහක් පරීක්ෂාවට ලක්කරන ලදී. එම ස්ථානවල මුළුතැන්ගෙවල්වල බිම සහ සිවිලිම කඩතොළු වී තිබූ අතර, බිත්ති අතර කැරපොත්තන්,

කූඹින්, මීයන් සහ පූසන් වැනි සතුන් ගැවසෙමින් අතිශය අපිරිසිදු තත්ත්වයක පැවති බව නිරීක්ෂණය වී ඇත. ඊට අමතරව, අලෙවියට තබා තිබූ අර්තාපල් වැනි අල වර්ගවල පණුවන් සිටීම, වෙනත් ආහාර ද්‍රව්‍ය නරක් වී තිබීම සහ ඇසුරුම් කළ භාණ්ඩවල කල් ඉකුත්වීමේ දිනයන් ඉක්මවා තිබීම වැනි බරපතළ අඩුපාඩු රැසක්ද හඳුනාගෙන තිබේ.

මෙම අඩුපාඩු හේතුවෙන් අදාළ ව්‍යාපාරික ස්ථාන වෙත රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගත් බවත්, ඉන් හිමිකරුවන් තිදෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බවත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.