ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, බැද්දගාන පොදු සුසාන භූමියේදී, සුරතල් සුනඛයින් නීති විරෝධී ලෙස භූමදානය කිරීම සඳහා රුපියල් 8000ක් වැනි මුදලක් අයකරගන්නා බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. මිනිසුන්ගේ අවසන් කටයුතු සඳහා වෙන්වූ සුසාන භූමියක මෙවැනි ක්‍රියා සිදුවීම පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික මන්ත්‍රී අජිත් ශාන්ත මහතා විසින් විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත.
මෙම අක්‍රමිකතා පිළිබඳව නාගරික මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාසික මහා සභා රැස්වීමේදී හෙළිදරව් කරන ලදී. එහිදී ඔහු පෙන්වා දුන්නේ, තම හිතවතෙකුගේ සුනඛයෙකු භූමදානය කිරීම සඳහා මුලින් රුපියල් 5000ක් ඉල්ලා පසුව එම මුදල රුපියල් 8000ක් දක්වා ඉහළ දමා ඇති බවයි. නගරාධිපති අරෝෂ අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සභා රැස්වීමේදී මන්ත්‍රීවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.
මීට අමතරව, සුසාන භූමියට ගෙන එන මල් වඩම් සොරකම් කර නැවත අලෙවි කිරීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. මෑතකදී තම බිරිඳගේ දේහය භූමදානය කළ පුද්ගලයෙකු සොහොන මත තැබූ මල් වඩම සවස් වන විට අතුරුදන්වී තිබූ බවද ඔහු උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය.
එමෙන්ම සුසාන භූමියේ සේවකයින් නියමිත වේලාවට රාජකාරියේ නොයෙදීම පිළිබඳවද මෙහිදී චෝදනා එල්ල විය.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු මහතා, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බවට සහතික විය. සුසාන භූමි පනතට අනුව මිනිසුන් සඳහා වෙන්වූ සුසාන භූමියක සතුන් භූමදානය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අවධාරණය කළ නගරාධිපතිවරයා, මෙම අක්‍රමිකතා පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවද වැඩිදුරටත් පැවසීය.

