there-are-also-former-mps-who-use-their-pensions-for-social-welfare-instead-of-personal-use

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොවකට ආසන්න පිරිසක් ආදර්ශයක් ලබාදෙමින්, තමන්ට හිමි මන්ත්‍රී විශ්‍රාම වැටුප පෞද්ගලික පරිහරණයට නොගෙන විවිධ සමාජ සත්කාරක කටයුතු සඳහා පරිත්‍යාග කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල යන මහත්වරුන් මෙම ආදර්ශවත් ක්‍රියාවෙහි නිරත වන දේශපාලනඥයින් අතරින් කිහිප දෙනෙකි.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ,

තමන්ට හිමි විශ්‍රාම වැටුප දීර්ඝ කාලයක සිට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පහසුකම් සැපයීමටත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දරුවන් දෙදෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීම සඳහාත් යොදවන බවයි. එමෙන්ම, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද සිය විශ්‍රාම වැටුප අපේක්ෂා රෝහලේ කටයුතු සහ වෙනත් පුණ්‍ය කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරන බව පවසා තිබේ.

හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පෙන්වා දෙන්නේ, තමන් දේශපාලනයට පිවිසි මුල් යුගයේ සිටම දැරූ 'සේවයත් වැටුපත් ජනතාවට' යන තේමා පාඨය අනුව යමින්, සිය විශ්‍රාම වැටුප අසරණ රෝගීන් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබාදීමට දීර්ඝ කාලයක සිට යොදවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා සාමාන්‍යයෙන් රුපියල් අසූ දහසක පමණ විශ්‍රාම වැටුපක් හිමිවන බව වාර්තා වේ. වර්තමානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325 දෙනෙකු, මියගිය මන්ත්‍රීවරුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් 174 දෙනෙකු සහ දරුවන් හත් දෙනෙකු පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් ලබමින් සිටිති.