the-unfair-methods-of-becoming-millionaires-by-selling-fake-goods-must-end

 කොත්තු රොටී අලෙවිසැල් සහ වඩේ අලෙවි කිරීම වැනි සුළු පරිමාණ ව්‍යාපාරවල මුවාවෙන් මුදල් විශුද්ධිකරණයේ යෙදෙමින් කෝටිපතියන් බවට පත්වීමේ ක්‍රමවේදය වහාම නැවැත්විය යුතු බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය රුවන් රණසිංහ අවධාරණය කරයි.



සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට ළඟා විය නොහැකි මූල්‍යමය දියුණුවක් ඇතැම් කොත්තු සහ වඩේ අලෙවිකරුවන් ඉතා කෙටි කලකින් ලබාගැනීම සැකයට තුඩුදෙන කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය.



මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලොව රටවල් 164ක් ඇසුරෙන් සැකසූ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 80 වන ස්ථානයේ පසුවන බව හෙතෙම පෙන්වා දුන්නේය. එම දර්ශකයේ ලකුණු 5.28ක ඉහළ අවදානම් අගයක් ශ්‍රී ලංකාවට හිමිවී තිබීම බරපතල තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුවලට අනුව ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ත් 5%ත් අතර ප්‍රමාණයක් කළු සල්ලි හෙවත් විශුද්ධිකරණය කළ මුදල් වන නමුත්, ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වය ඊට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව තමා පුද්ගලිකව විශ්වාස කරන බවද මහාචාර්ය රුවන් රණසිංහ ප්‍රකාශ කළේය.



මෙම මුදල් විශුද්ධිකරණ අවදානම් දර්ශකයේ ලකුණු 0 සිට 10 දක්වා ක්‍රියාත්මක වන අතර, ලකුණු 10 යනු ඉහළම අවදානමයි. ඒ අනුව ලොව අඩුම අවදානමක් සහිත රට වන අයිස්ලන්තය ලකුණු 1.17ක් ලබාගෙන ඇති අතර, වැඩිම අවදානමක් සහිත හයිටි රාජ්‍යය ලකුණු 8.25ක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ අගය ඒ හා සැසඳීමේදී සැලකිය යුතු මට්ටමක පවතී.

විවිධ නීති විරෝධී ක්‍රියා, අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හරහා උපයන ලද මුදල් මෙවැනි ව්‍යාපාරවල ආයෝජනය කර නීත්‍යානුකූල මුදල් ලෙස සමාජගත කිරීමේ ක්‍රියාවලිය වැළැක්වීම සඳහා රජයක් ලෙස සමාගම් පනතට නව සංශෝධන හඳුන්වා දීමට පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.