බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ඇගේ මන්ත්‍රී සැමියාගේ ලිංගික හිංසනය පිළිබඳ ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ කථාකරමින් ITV නාලිකාව වෙත ඒ සම්බන්ධිත වැඩසටහනකට එක්වෙමින් ආන්දෝලනාත්මක පුවත් මවා තිබේ.
තම දේශපාලන දිවියේ අසාර්ථකත්වය පිටුපස දශකයකට ආසන්න කාලයක් සැඟවී තිබූ දරුණු හිංසනයන් පිළිබඳව, බර්ටන් හි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී කේට් නිවෙටන් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ හෙළිකර තිබේ. තම හිටපු සැමියා සහ එම ප්‍රදේශයේම හිටපු මන්ත්‍රීවරයෙකු වූ ඇන්ඩෘ ග්‍රිෆිත්ස්, විවාහ ජීවිතය තුළදී තමා නිදා සිටියදී පවා නැවත නැවතත් දූෂණය කළ බවත්, දැඩි ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් කළ බවත් ඇය චෝදනා කරයි.
ඔවුන්ගේ සම්බන්ධතාවය පිටතට පෙනෙනා පරිදි සාර්ථක එකක් වුවද, ඇතුළත එය බියකරු සිහිනයක් වූ බව නිවෙටන් පවසයි. තමා නිදා සිටියදී ලිංගික අතවරයට ලක්ව අවදි වූ අවස්ථා මෙන්ම, ඇතැම් විට ඇඳෙන් එළියට ඇද දමන තුරු පයින් පහරදුන් අවස්ථාද තිබූ බව ඇය විස්තර කළාය.
පොලිසියට පැමිණිලි කරන බවට තර්ජනය කළ සෑම විටම, "කවුරුවත් ඔබව විශ්වාස කරන්නේ නැහැ, මෙහි මන්ත්‍රීවරයා මම" යැයි පවසමින් ග්‍රිෆිත්ස් තමා නිහඬ කළ බව ඇය සිහිපත් කරයි.
මෙම හිංසනයන් පිළිබඳව 2021 වසරේදී පවුල් අධිකරණයක් මගින් ග්‍රිෆිත්ස් වරදකරු බවට තීන්දු කරනු ලැබූ අතර, ඔහු විසින් නිවෙටන්ව දූෂණය කිරීම, ශාරීරිකව හිංසනයට ලක් කිරීම සහ පාලනකාරී ලෙස හැසිරීම සනාථ විය. කෙසේ වෙතත්, ග්‍රිෆිත්ස් මෙම දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. අධිකරණ තීන්දුවෙන් පසුව වුවද, ඔවුන්ගේ දරුවාගේ භාරකාරත්වය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා නීතිමය සටනක් ගෙන යාමට ඇයට සිදුවූ අතර, එය තමාට දැඩි මානසික හා මූල්‍යමය පීඩනයක් ගෙන දුන් බව නිවෙටන් පවසයි.
මෙම විවාහයෙන් ඉවත් වීමට ඇය ගත් තීරණාත්මක පියවරට හේතු වූයේ ඔවුන්ගේ අලුත උපන් දියණියට ග්‍රිෆිත්ස් විසින් සිදුකළ කෲර සැලකීමයි. දිනක් උදෑසන කිරි ඉල්ලා හැඬූ සති දෙකක් වයසැති බිළිඳියට, "කට වහගනින්" (shut the f*** up) යනුවෙන් ග්‍රිෆිත්ස් දැඩි ලෙස කෑගැසීමත් සමඟ, තවදුරටත් තම දරුවාගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඇය වටහා ගත්තාය.
ලිංගික අසභ්‍ය කෙටි පණිවුඩ හුවමාරුවක් හේතුවෙන් 2018 දී ග්‍රිෆිත්ස්ට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන් අනතුරුව 2019 මහ මැතිවරණයේදී ඔහු පරාජය කරමින් එම පාර්ලිමේන්තු අසුන ජයග්‍රහණය කිරීමට නිවෙටන් සමත් වූවාය. ඇය දැන් සිය අත්දැකීම් උපයෝගී කරගනිමින්, ගෘහස්ථ හිංසනයට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කිරීමේදී එක්සත් රාජධානියේ පවුල් අධිකරණ පද්ධතියේ පවතින දුර්වලතා පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරතව සිටී.
කේට් නිවෙටන්ගේ මෙම හෙළිදරව්ව "Breaking The Silence: Kate's Story" නමින් ITV නාලිකාව විසින් වාර්තා චිත්‍රපටයක් ලෙස එළිදක්වා ඇති අතර, එමගින් වෘත්තීය සහ දේශපාලන ක්ෂේත්‍රවල පවා සැඟවී පවතින ගෘහස්ථ හිංසනයේ බිහිසුණු යථාර්ථය ලොවට අනාවරණය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval