update-randola-hotel-owner-killed-by-hotel-manager-over-broken-love

 කුරුණෑගල, මිල්ලව ප්‍රදේශයේ පිහිටි රන්දොල හෝටලයේ හිමිකරු වූ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, එම හෝටලයේම හිටපු කළමනාකරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු පසුගිය 30 වන දා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.



මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස මාවතගම, මඩව පිලැස්සේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු හඳුනාගෙන ඇති අතර, අපරාධයට සහය දුන් අනෙක් සැකකරු මහව, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

පොලිස් විමර්ශනවලට අනුව, මෙම ඝාතනයට මුල් වී ඇත්තේ පලිගැනීමේ චේතනාවකි. ප්‍රධාන සැකකරු, ඝාතනයට ලක් වූ කමල් කුරුප්පු මහතාට අයත් හෝටලයේ සේවය කළ තරුණියක සමඟ පැවැත්වූ ප්‍රේම සම්බන්ධයකට ව්‍යාපාරිකයා විරුද්ධ වීම නිසා ඇති වූ ආරවුලක් මෙම ඛේදවාචකයට හේතු වී තිබේ. මීට මාස හයකට පමණ පෙර හෝටලයේ සේවයට එක්වූ ප්‍රධාන සැකකරු, ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනාගනිමින් කළමනාකාර තනතුර දක්වා උසස් වී පරිපාලන කටයුතු රැසක් මෙහෙයවා ඇත.

කෙසේ වෙතත්, හෝටල් කාර්ය මණ්ඩලයේ තරුණියක සමඟ සැකකරු ඇති කරගත් ප්‍රේම සම්බන්ධය මෙම සිදුවීම් දාමයේ ආරම්භය විය. දිනක් හෝටල් කාමරයකදී සැකකරු අදාළ තරුණිය සිප වැළඳ ගනු ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් දැක ඒ බව තම සැමියාට දැනුම් දී තිබේ. ඉන් උරණ වූ ව්‍යාපාරිකයා, තම කලිසම් පටියෙන් සැකකරුට පහර දී ඔහුව රැකියාවෙන් නෙරපා හැරීමට කටයුතු කර ඇත.



හෝටල් රැකියාවට අමතරව ගොඩනැගිලිවලට වැහි පිහිලි සවිකිරීමේ නිරත වූ සැකකරු, රැකියාව අහිමි වීමෙන් පසු එම කටයුතුවලට යළි යොමු විය. කමල් කුරුප්පු මහතා ද ඉඩම් මිලදී ගෙන නිවාස ඉදිකර විකිණීමේ ව්‍යාපාරයක නිරත වූ අතර, ඔහුගේ ඉදිකිරීම් සඳහා වැහි පිහිලි සවිකර දී ඇත්තේ ද මෙම සැකකරු විසිනි.

රැකියාව, ප්‍රේම සම්බන්ධය අහිමි කිරීම සහ පෙම්වතිය ඉදිරියේදී පහර දීම යන කරුණු මත ව්‍යාපාරිකයා සමඟ දැඩි වෛරයකින් පසු වූ සැකකරු, පළිගැනීමට අවස්ථාවක් සොයමින් සිට ඇත. ඒ සඳහා ඔහු තම වෘත්තියේ අත් උදව්කරු ලෙස කටයුතු කළ 19 හැවිරිදි මිතුරාගේ සහය පතා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

සිය සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන සැකකරු ව්‍යාපාරිකයාට වට්ස්ඇප් ඔස්සේ ඇමතුමක් ලබාදී, පිලැස්ස ප්‍රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට ඇති බව පවසා එය බැලීමට එන ලෙස ආරාධනා කර ඇත. එම ඇමතුම ලැබෙන විට මිල්ලව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සිටි කමල් කුරුප්පු මහතා, ඉඩම් මිලදී ගැනීමේ ව්‍යාපාරයේ නිරතව සිටි බැවින් කිසිදු සැකයකින් තොරව එම ඉල්ලීමට එකඟ වී තිබේ.

ඒ අනුව, කොණ්ඩය කපා අවසන් වූ වහාම තම කළු පැහැති එක්ස්ට්‍රේල් වර්ගයේ ජීප් රථයෙන් ගොස් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ මිතුරා පිලැස්ස ප්‍රදේශයෙන් නංවාගෙන ඇත. ඉන් අනතුරුව, විකිණීමට ඇතැයි පැවසූ කැලෑවෙන් වැසී ගිය සංවර්ධනය නොකළ ඉඩමකට ව්‍යාපාරිකයාව රැගෙන ගිය සැකකරුවන් දෙදෙනා එහිදී තම අපරාධකාරී සැලසුම ක්‍රියාත්මක කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයම මහත් ආන්දෝලනයට ලක් කළ මෙම සිදුවීමෙන් පසු, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නියෝග මත සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කරන ලදී. ඝාතනයෙන් පසු ව්‍යාපාරිකයා සතුව තිබූ වටිනා රන් මාල දෙකක් සහ රුපියල් දාහත් දහසක් අඩංගු මුදල් පසුම්බිය පැහැරගත් සැකකරුවන්, මහව දෙසට යන අතරමඟදී ඇඳ සිටි ඇඳුම් මාරුකර, ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය විනාශ කර දුම්රිය මාර්ගයට විසිකර දමා ඇත.

මහව, දළදාගම ප්‍රදේශයෙන් බස් රථයක නැගී කුරුණෑගලට පැමිණි ඔවුන්, පසුදින (26) පැහැරගත් එක් රන් මාලයක් රුපියල් ලක්ෂ 16 කට අලෙවි කර තිබේ. එම මුදලින් ලක්ෂ 10 ක් ප්‍රධාන සැකකරු තබාගෙන ඉතිරි ලක්ෂ 6 සහයකරුට ලබා දී ඇත. පැහැරගත් රන් අත්පලඳනාව සහ මුදලින් කොටසක් නිවසේ සඟවා, ලබාගත් මුදලින් ලක්ෂ 2 ක ණයක් ද පියවා ඇත.



අනතුරුව ගම්පහ ප්‍රදේශයට ගොස් තානායමක දින දෙකක් නවාතැන් ගෙන සිටි සැකකරුවන්, ජාඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් අධික මුදලක් වැය කරමින් ගණිකාවන් ඇසුරු කර ඇති අතර, මිල අධික මත්පැන් පානය කරමින් සුඛෝපභෝගී ලෙස කල් ගෙවා තිබේ.

නැවත කුරුණෑගලට පැමිණ සිටියදී, විශේෂ පොලිස් කණ්ඩායමකට ලද තොරතුරක් මත පසුගිය 28 වන දා පිලැස්ස ප්‍රදේශයේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනිණි. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරු පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමඟ එදිනම ඔහුවද සිය නිවසේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මෙම සාර්ථක මෙහෙයුම සඳහා මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.එන්. හෙට්ටිආරච්චි, කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සරත් සුමනවීර, දොරටියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව වීරසේකර, මහව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති තිළිණ මධුසංඛ යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් එක්වූහ. දොරටියාව පොලීසියේ සැරයන් ප්‍රසන්න (39539), ගාමිණී (58079), මාවතගම පොලීසියේ සැරයන් මනමේන්ද්‍ර (58662), ඒකනායක (24212), කොස්තාපල් රණවක (91833), සැරයන් රියදුරු විජේරත්න (83634) සහ කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් රියදුරු ආසිරි (34343) යන නිලධාරීහු ද මෙම විමර්ශන සඳහා දායක වූහ.

gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 3
gossiplanka image 4