protests-in-bangladesh-after-gang-rape-video

බංග්ලාදේශයේ කාන්තාවකට සමූහ ලිංගික අතවරයක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් පැතිර යාමත් සමග රට පුරා දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. 



පසුගිය බ්‍රහස්පතින්දා සිය පියාගේ නිවසේදී තමන් දූෂණයට ලක්වූ බවට අදාළ කාන්තාව දේශීය මාධ්‍ය වෙත පවසා ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ තවත් කිහිප දෙනෙකු එම ස්ථානයේ සිට දුෂණය සිදුකර ඇති බව වීඩියෝ පටයේ දැක්වේ.



ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා ද ඇතුළුව පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවට බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව සති අන්තයේදී දිවයින පුරා විරෝධතා පැනනැගුණු අතර, සිද්ධියට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස මානව හිමිකම් සංවිධාන රැසක් ඉල්ලා සිටියි.

බංග්ලාදේශයේ මධ්‍යම කුමිල්ලා දිස්ත්‍රික්කයේ පිහිටි සිය පියාගේ නිවසට ගොස් සිටි අවස්ථාවකදී අසල්වැසියෙකු නිවසට කඩා වැදී මෙම අතවරය සිදුකර ඇති බව පොලීසිය පවසයි. හින්දු සුළු ජාතික ප්‍රජාවට අයත් මෙම කාන්තාව, සැකකරු 'නරක චේතනාවෙන් නිවසට ඇතුළු වී තමන්ට වධ හිංසා කළ බව' දේශීය මාධ්‍ය කිහිපයකටම ප්‍රකාශ කර තිබුණි.

ප්‍රධාන සැකකරු 36 හැවිරිදි ෆසෝර් අලී ලෙස පොලීසිය විසින් නම් කර ඇති අතර, සිද්ධිය වූ දින රාත්‍රියේදී මහජනයා විසින් පහර දීම හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබේ. ඔහුගේ අත් සහ පාදවලට සිදුවූ තුවාල හේතුවෙන් ඉරිදා දිනයේදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව පොලීසිය සඳහන් කළේය.



අනෙක් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම අතවරය වීඩියෝ ගත කිරීම සහ එම දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවලදී යුක්තිය ඉටුවීම ප්‍රමාද වූ හෝ අපරාධකරුවන්ට දඬුවම් නොලබා බේරී යාමට ඉඩ සැලසුණු සිදුවීම් මාලාවක නවතම අවස්ථාව බව දේශීය මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන බව බංග්ලාදේශ බලධාරීහු පවසා තිබේ.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3