නාත්තන්ඩිය, වික්‍රමසිංහ මාවතේදී වෙඩි තබා ඝාතනය කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බවට සැකකෙරෙන කාන්තාවගේ මරණය, ඩුබායිහි සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම ඝාතනයට මූලික හේතුව වී ඇත්තේ ඩුබායිහි සිටින එම ජාවාරම්කරු සහ මියගිය කාන්තාව අතර දුරකථනයෙන් ඇතිවූ බහින්බස්වීමක් බවට පොලිස් ආරංචි මාර්ග ඊයේ (24) අනාවරණය කළේය.
මාරවිල, ඉද්දමල්ගොඩ පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ වසන්ති චතුරානි (30) හෙවත් 'සුද්දි' නමැති මෙම තිදරු මව, ඉකුත් 22 වන දා මධ්‍යම රාත්‍රියේ ඝාතනයට ලක්විය. රුපියල් 4,000ක් වටිනා මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් රැගෙන එන ලෙස ලැබුණු දුරකථන ඇමතුමකට අනුව, ඇය සිය දස හැවිරිදි නිවුන් පුතු සහ තවත් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණි අවස්ථාවේ පාතාල වෙඩික්කරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සැක කරයි.
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇයගේ දස හැවිරිදි පුත්‍රයා තවමත් මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි. ඝාතනයට ලක්වූ කාන්තාව පරිහරණය කළ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි ඇමතුම් විස්තර විශ්ලේෂණය කර සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval