
කුරුවිට ප්‍රදේශයේදී විසිපස් හැවිරිදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන දාහත් හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය පසුගියදා (03) සමත් විය. පෞද්ගලික ආයතනයක මැණික් ඔපදමන්නියක ලෙස සේවය කළ මෙම තරුණිය ඝාතනය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගනු ලැබුවේ 'සෙබී' නම් පොලිස් නිල සුනඛයා ලබාදුන් හෝඩුවාවක් මත වීම විශේෂත්වයකි.
ඝාතනයට ලක් වූ තරුණියගේ සිරුර අසල තිබී සොයාගත් පොලු කැබැල්ලක් 'සෙබී' නිල සුනඛයාට ඉව කිරීමට සැලැස්වීමෙන් අනතුරුව, එම ස්ථානයේ රැස්ව සිටි මහජනතාව අතරට සුනඛයා යොමු කර තිබේ. එහිදී සෙනඟ අතර සිටි සැකකාර දාහත් හැවිරිදි තරුණයා වෙත ගිය 'සෙබී' ඔහුගේ දෙපා ලෙවකා ඒ අසලම වැතිරීමත් සමඟ පොලිස් නිලධාරීන්ගේ අවධානය ඔහු වෙත යොමු විය.
පසුව සැකකරු පිරිසෙන් වෙන් කර නුදුරින් නවතා තිබූ ත්‍රිරෝද රථයකට නැංවූ අතර,
පොලිසිය දෙවන සහ තෙවන වරටත් පොලු කැබැල්ල ඉව කිරීමට සැලැස්වූ අවස්ථා දෙකේදීම නිල සුනඛයා එම ත්‍රිරෝද රථය වෙත ගොස් සැකකරු නිවැරදිව හඳුනාගෙන ඇත. මෙම හඳුනාගැනීමෙන් පසුව කුරුවිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී 'සෙබී' නිල සුනඛයා මෙහෙයවනු ලැබුවේ පොලිස් කොස්තාපල් ඩබ්. බී. ටී. සම්පත් (75428) මහතා විසිනි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රැකියාව නිමවී නිවස බලා යමින් සිටි තරුණිය දුටු සැකකරු, ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට කළ යෝජනාවක් ඇය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඔහුට දොස් පැවරීම මෙම ඛේදවාචකයට හේතු වී ඇති බවයි. ඝාතනයෙන් අනතුරුව සැකකරු විසින් ඇය පැළඳ සිටි රන් මාලය කොල්ලකා පළාගොස් ඇති අතර, ඇයට අයත් ජංගම දුරකථනය අසල වූ කානුවක තිබී සොයාගෙන ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval