මහව, පොල්පිතිගම ප්‍රදේශයේ දින ගණනාවක් තිස්සේ රෝගාතුරව සිටින 'භාතිය' නම් හස්තියාගේ තත්ත්වය අසාධ්‍ය බවට වාර්තා වන අතර, ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා පශු වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් සහ යුද හමුදාව එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ නිරීක්ෂණයට අනුව, ඇතාගේ මොළයට හෝ කශේරුකාවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ප්‍රබල සැකයක් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල මට්ටමක පවතින බවත්, සිදුකළ රුධිර පරීක්ෂණවලින් ඔහුගේ පෝෂණ තත්ත්වය ද බෙහෙවින් අඩු වී ඇති බවත් අනාවරණය වී ඇත.
මෙම තත්ත්වය යටතේ, රෝගී හස්තියාට ප්‍රතිකාර කිරීම සඳහා අද (06) දිනයේදී ඇතා රැඳී සිටි ජලය පිරුණු වළ හිස් කිරීමට පියවර ගෙන තිබේ. අනතුරුව, යුද හමුදා නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ඇතාව වැලි කොට්ට මතට ඔසවා තැබීමට වනජීවී නිලධාරීන් සමත් වූ අතර, හදිසි අවස්ථාවක් සඳහා ජංගම දොඹකරයක් ද එම ස්ථානයේ සූදානම් කර ඇත.
දකුණු ඉදිරි පාදයේ ආබාධයක් හේතුවෙන් රෝගාතුරව සිටි මෙම හස්තියාට මීට පෙරද අවස්ථා කිහිපයකදීම වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබා දී තිබුණි. කෙසේ වෙතත්, ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බවට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ චෝදනා හමුවේ, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ මැදිහත්වීමෙන් ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීමට උපදෙස් ලබා දී තිබිණි.
මේ වන විට දැඩි ලෙස දුර්වලව සිටින 'භාතිය' හස්තියාගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ආහාර සහ ප්‍රතිකාර ලබා දෙමින් පවතී. මෙම සිදුවීමත් සමඟ, වනඅලින්ට සිදුවන වෙඩි වැදීම් ඉහළ යාම සැලකිල්ලට ගෙන, රෝගී අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval