the-identity-of-the-person-who-fell-and-died-on-high-level-road-is-unknown

 ගොඩගම හයිලෙවල් පාරේ ඇද වැටී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය භාරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන්, දින දාහතකට අධික කාලයක් එම දේහය හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර තිබේ. මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.



පසුගිය 13 වන දින මෙම පුද්ගලයා ගොඩගම හයිලෙවල් මාර්ගය ආසන්නයේ එහා මෙහා යමින් සිටියදී, ඔහු ඇඳ සිටි සරම පය පැටලී මාළු වෙළෙඳසැලක් අසලදී ඇද වැටී ඇත. ප්‍රදේශවාසීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.



මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ වන, උඩු රැවුලක් සහිත පිරිමි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ හිසෙහි දකුණු පස තුවාලයක් සඳහා වෙළුම් පටියක් දමා තිබී ඇත. මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවද, මේ වන තෙක් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හෝ කිසිදු ඥාතියෙකු සොයා ගැනීමට නොහැකි වී තිබේ.

එබැවින්, මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙකු වෙතොත් හෝ ඥාතියෙකු වෙතොත්, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සහාය වීමට වහාම පොලීසිය දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.