
කොළඹ වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරයේ පැවති ඩී.ජේ. සංගීත ප්‍රසංගයක් අතරතුර, පුද්ගලයෙකු සතු රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමකින් යුතු රන් මාලයක් සහ මුදල් පසුම්බියක් සොරකම් කිරීමේ සිද්ධියක් පිළිබඳව වරාය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතුවල නිරත වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා, පසුගිය 28 වන දින තම මිතුරන් සිව් දෙනෙකු සමඟ මෙම සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණ ඇත. ප්‍රසංගය අතරතුර මත්පැන් පානය කර විනෝද වෙමින් සිටියදී, අලුයම 1.30ට පමණ ඇතිවූ හිසරදයක් හේතුවෙන් ඔහු අසල තිබූ මේසයක් මත හිස තබාගෙන මොහොතකට නින්දට වැටී තිබේ.
අලුයම 2.20ට පමණ නැවත අවදි වූ අවස්ථාවේදී, තමා පැළඳ සිටි පවුම් දෙකහමාරක් බර රන් මාලය සහ පසුපස සාක්කුවේ තිබූ ඒ.ටී.එම්. කාඩ්පත් සහිත මුදල් පසුම්බිය අතුරුදන්ව ඇති බවට ඔහු තහවුරු කරගෙන ඇත.
සොරකම සිදුවී සුළු මොහොතකට පසුව, එනම් අලුයම 2.30ත් 6.05ත් අතර කාලය තුළ, සොරාගන්නා ලද මුදල් පසුම්බියේ තිබූ පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම්. පතක් භාවිත කරමින් කිසියම් පුද්ගලයෙකු විසින් ඉන්ධන පිරවුම්හලකින් සහ වෙළෙඳසැල් කිහිපයකින් රුපියල් 42,000ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබේ. මෙම ගනුදෙනු පිළිබඳව පැමිණිලිකරුගේ ජංගම දුරකථනයට ලැබුණු කෙටි පණිවිඩ ඔස්සේ ඔහු දැනුවත්වී ඇත.
මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව වරාය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval