
පාර්ලිමේන්තු සංකීර්ණය වටා පිහිටි දියවන්නා ඔයේ ජලය අපද්‍රව්‍ය හේතුවෙන් ක්‍රමයෙන් කළු පැහැ ගැන්වීමේ බරපතල අවදානමක් මතු වී තිබේ. දියවන්නා ඔයට ඉහළ ප්‍රදේශවල පිහිටි ජනාවාස සහ විශේෂයෙන්ම වාහන සේවා මධ්‍යස්ථාන මඟින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය හා පාවිච්චි කරන ලද තෙල් (කළුතෙල්) ප්‍රධාන හේතුව වී ඇති බව පරිසර නිලධාරීන් පෙන්වා දෙයි.
මේ වන විට පාර්ලිමේන්තුවේ පින්නියර කලාපය ආසන්නයේ දියවන්නා ඔයේ ජලය සැලකිය යුතු මට්ටමින් කළු පැහැයට හැරී ඇති අතර, මාදිවෙල ඇළ ඔස්සේ ගලා එන අපවිත්‍ර ජලය මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බවට පරිසරවේදීහු අනතුරු අඟවති.
මෙම ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත්, නුදුරු අනාගතයේදීම සමස්ත දියවන්නා ඔයම දූෂණය වීමේ අවදානමක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති. මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය සතියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ හමුවක් පවත්වා තිබේ.
පොලිස් සහ පරිසර බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී, දියවන්නා ඔයට අපද්‍රව්‍ය සහ කළු තෙල් මුදාහරින පුද්ගලයන් සහ ආයතන සොයා වහාම නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval