
මාස දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිට මියගිය භාතිය දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන්, ස්වාධීන වෛද්‍ය මණ්ඩල දෙකකින් අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් කැඳවීමට මහව මහෙස්ත්‍රාත් කංචනී නර්ථනී අභිමානි සෙනවිරත්න මෙනෙවිය නියෝග කර ඇත. මහව වනජීවී කාර්යාලය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨාධිපතිවරයාට සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය නිකුත් කර ඇති අතර, භාතිය ඇතාට ප්‍රතිකාර සඳහා සහභාගී නොවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලබන වෛද්‍ය මණ්ඩලයක් මඟින් එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවට අධිකරණය නියම කර තිබේ.
එමෙන්ම, මියගිය හස්තියාගේ දළ යුගලය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාර දෙන ලෙස නිකවැරටිය පශු වෛද්‍ය නිලධාරී එච්.කේ. ඉසුරු මහතාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහව වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර ජේ.එම්. අරුණ ශාන්ත ජයසේකර මහතාටද නියෝග කළාය.
මූලික පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, ඇතාගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය වෙත යවා ඇත. මේ අතර, හස්තියාගේ දළ යුගලය හිස සමගින්ම සම්පූර්ණයෙන් ලබාගැනීමේ අරමුණින්, එය ගල්ගමුව වනජීවී කාර්යාල භූමියේ සුරක්ෂිතව වළ දමා තිබේ. දින කිහිපයකින් එය ගොඩගෙන දළ යුගලය වෙන් කර, අධිකරණ නියෝගයට අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාර දීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval