the-suspect-who-fled-by-jumping-into-a-canal-in-ampara-is-revealed-to-be-the-shooter-in-several-seeduwa-murders-in-mount-lavinia

අපරාධයක් සිදුකොට සැඟව සිටීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒ අපරාධයක් සිදුකළ පුද්ගලයකු කොයි මොහොතක හෝ අත්අඩංගුවට පත්වීමට ඇති ඉඩකඩ බොහෝ නිසාය. ඒ නිසා පොලිසිය පවසන්නේ අපරාධයක් සිදු කළ පුද්ගලයකුට කිසිදා සැඟව සිටිය නොහැකි බවකි.


එවන් සිදුවීමක් පසුගියදා අම්පාර පොලිස් කොට්ඨාසයේ බක්කිඇල්ල පොලිස් වසමෙන්ද වාර්තා විණි. ඉකුත් 15 වැනිදා රාත්‍රියේ බක්කි ඇල්ල පොලිසියේ නිලධාරියකුට කිසියම් රහසිගත තොරතුරක් ලැබිණි. ඒ බක්කිඇල්ල රජගලතැන්න ප්‍රදේශයේ නිවෙසක සැකසහිත පුද්ගලයකු රැඳී සිටින බව කියමිනි. සිද්ධිය ස්ථානාධිපති හල්විට වෙත දැනුම් දීමෙන් පසු උප පොලිස් පරීක්ෂක කරුණාදාස ඇතුළු කණ්ඩායමක් වහා රජගලතැන්න බලා පිටත්ව යන ලදී. නිලධාරීන් සැක සහිත පුද්ගලයා රැඳී සිටි නිවෙස වටලද්දී එම පුද්ගලයා නිවෙසේ පිටුපස දොරෙන් පලාගිය අතර නිලධාරීන් ඔහු පසුපස හඹා යෑමෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට යුහුසුලු වී තිබේ.


ඒ සමඟම සැක සහිත පුද්ගලයා ඒ අසල තිබූ ඇළකට පැන පීනා ගිය අතර නිලධාරීන්ද ඇළට පැන ඔහු පසුපස යමින් මහත් පරිශ්‍රමයකින් පසු සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු රැඳී සිටි නිවෙස සහ ඔහුව පරීක්ෂා කිරීමෙන් පසු ඔහු මුස්ලිම් ජාතිකයකු බවත් ඔහු හෝමාගම, කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටත් සනාථ කරගන්නා ලදී. එමෙන්ම ඔහුගේ සාක්කුවක තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 4,100ක්ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විණි.ඉන් අනතුරුව කරන ලද වැඩිදුර පරීක්ෂාවේදී තවත් ජාතික හැඳුනුම්පත් 4ක්, විදෙස් ගමන් බලපත්‍ර 2ක්, රියැදුරු බලපත්‍රයක්ද වූ අතර සොයාගත් ජාතික හැඳුනුම්පත් එකක් සිංහල ජාතිකයකු ලෙස සකසා ඇති බවත් පොලිසිය කියයි. ඒ අනුව මෙම සැකකරු සමහරක් අවස්ථාවල සිංහල ජාතිකයකු ලෙස පෙනී සිට ඇති බවත් පොලිසිය සැකකරයි. ඒ පොලිසියෙන් බ්‍රේ පළා යෑම සඳහාය.




මෙලෙස හැදුනුම්පත් කිහිපයක් සන්තකයේ තබා ගැනීම සැක කළ බක්කිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මොහුගේ වතගොත සොයා ගැනීමේ අරමුණින් මොහු සම්බන්ධ විස්තරයක් දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත ලබාදී මොහු එම පොලිසිවලට අවශ්‍ය අයකුද යන්න දැන ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කරන ලදී. එම පණිවුඩවලින් පසු සීදුව සහ ගල්කිස්ස පොලිස් ස්ථාන වලින් ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තම පොලිස් වසම්වල සිදු වූ වෙඩි තබා සිදු කළ මිනිස් ඝාතන හතරකට මෙම පුද්ගලයා පොලිසිය සොයමින් සිටින අයකු බවය. එම වෙඩි තැබීම්වලින් පසු මොහු ගැන විමර්ශන ඇරැඹුවද පොලිසිවලට මොහු සොයා ගැනීමට හැකියාවක් ලැබී නොතිබිණි. ඒ අනුව එම වසම් තුළ සිදු වූ අපරාධ එතෙක් නොවිසඳුණු අපරාධ ලෙස සනිටුහන් වී තිබේ.සිදුව සහ ගල්කිස්ස පොලිස් ස්ථානවලින් ලද තොරතුරුවලට අනුව නිලධාරීන්  සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.


එහිදී අනාවරණය වන්නේ සීදුව ප්‍රදේශයේදී සිදු කළ ද්විත්ව ඝාතනය මෙන්ම ගල්කිස්ස පොලිස් වසමේ සිදුකළ ද්විත්ව ඝාතනයේද වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇත්තේ මොහු බවය.ඒ අනුව ඉකුත් 2024.12.28 වැනි දින සිදුව පොලිස් වසමේදී නිවෙසකට මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු එම නිවෙසේ සිටි පිය - පුතුන් ඉලක්ක කොට ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදුණු අතර ඉන් පිය - පුතු දෙදෙනා ජීවිතක්ෂයට පත්විය. තවත් පුතකු තුවාල ලැබීය. පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු මොහු බව තහවුරු වී ඇත. වෙඩි තැබීම වි සඳහා මෝටර් රථයක්ද සැකකරුට ලැබී ඇති අතර වෙඩි තැබීම සිදුකර ඇත්තේ ටී 56 ගිනි අවියකිනි.


ගල්කිස්ස පොලිස් වසමේදී පසුගිය සමයේ කොස් මල්ලි සහ බඩෝවිට අසංක නමැති විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවන් අතර ඇතිව තිබෙන මත්ද්‍රව්‍ය ආරවුලක් මත දිගින් දිගටම වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුවිය. එම වෙඩි තැබීම් අතර ඉකුත් ජනවාරි මස 7 වැනිදා අලුයම ගල්කිස්ස, වටරප්පල පාරේදී ද වෙඩි තබා තවත් පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කරනු ලැබීය. වෙඩි ප්‍රහාරයෙන් මියගියේ සුදත් ගෝමස් සහ චානක විමුක්ති යන දෙදෙනාය. විමර්ශනයෙන් හෙළි වූයේ මෙම පුද්ගලයන් දෙදෙනා බඩෝවිට අසංක පාර්ශ්වයේ අය බවය. එමෙන්ම මොවුන් තවත් මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවකු වන “ඇටයා” නමැත්තාගේ ඥාතීන් බවය.


ඇටයා ඒ වන විට සිටියේ මත්ද්‍රව්‍ය සමඟ කොටු වීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගතවය. වටරප්පල වෙඩි තැබීමෙන් මැරුම් කන්නේ ඇටයාගේ මස්සිනා සහ මාමාය.

ඒ අනුව මෙම ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇත්තේද අත්අඩංගුවට පත් මෙම වෙඩික්කරු බව විමර්ශනයේදී හෙළි වී ඇත. ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ බඩෝවිට අසංකට එරෙහිව නැඟී සිටින කොස්මල්ලි නමැත්තා විසින් මෙම තුවක්කුකරු ලවා එම ඝාතන සිදුකර ඇති බවය. 2023 අගෝස්තු 10 වැනිදා දෙහිවල, ඕබන් පෙදෙසේ දී ඇටයා ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම අවස්ථාවේ ඇටයා සිටියේ සැන්ඩෝ සමඟය. කෙසේ වෙතත් තුවක්කුකරු විසින් සිදු කළ එම වෙඩි තැබීමෙන් සැන්ඩෝට හෝ ඇටයාට ජීවිත හානි සිදුවූයේ නැත. ඇටයාගෙන් පළිගැනීමට නොහැකි වූ තැන කොස් මල්ලි විසින් බඩෝවිට අසංකට රිදවීමේ අරමුණින් තුවක්කුකරු ලවා ඇටයාගේ මාමාට සහ මස්සිනාට වෙඩි තබා ඝාතනය කර ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත.


බක්කි ඇල්ල පොලිසිය පවසන්නේ මෙම තුවක්කුකරු එම ද්විත්ව ඝාතන දෙකම සිදු කර ඇත්තේ මුදලට බවය. සීදුව ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම වෙනුවෙන් මොහුට රුපියල් ලක්ෂයක් ගෙවා තිබිණි. එම මුදල හෝමාගම රජයේ බැංකුවක ගිණුමකට ඩුබායි රාජ්‍යයේ රැදුණු පුද්ගලයකු විසින් බැර කර ඇති බව විමර්ශනයේදී හෙළිවිය.

ඒ ගල්කිස්ස, වටරප්පල පාරේ සිදුකළ ද්විත්ව මිනිස් ඝාතනය මොහු විසින් සිදුකර ඇත්තේ රුපියල් ලක්ෂ 10ක මුදල් කොන්ත්‍රාත්තුවකටය. ඒ කොස් මල්ලිගේ මෙහෙයවීම මතය. ලක්ෂ 10න් ලක්ෂ 6ක මුදලක් මොහුට ගෙවා ඇති අතර තවත් ලක්ෂ 2ක මුදලක් මොහුගේ ගිණුමට බැර වී ඇත. ඉතිරි ලක්ෂ දෙක ගෙවීමට මත්තෙන් මොහු පොලිසියට කොටු වී ඇත.


මෙම ඝාතන සිදුකිරීමෙන් පසු පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීමට යුහුසුලු වෙද්දී තැන තැන සැඟව සිටි සැකකරු බක්කිඇල්ල පොලිස් වසමේ රජගලතැන්න ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මිතුරකු වූ බස් රියැදුරකුගේ නිවෙස වෙත පැමිණ තිබුණේ තවදුරටත් සැඟව සිටීම සඳහාය. එලෙස මාසයක කාලයක් බස් මිතුරාගේ නිවෙසේ රැඳී සිටි මොහු ඉන්පසු එම නිවෙස මාරු කරමින් මිතුරාගේ සොහොයුරියකගේ නිවෙසේ රැඳී සිටියදී ලැබුණු ඔත්තුවක් මත පොලිසියට කොටු වීමෙන් පසු මෙම ඝාතන 4 ගැන තොරතුරු මෙසේ හෙළිවිය. සිද්ධිය සම්බන්ධයෙන් බස් මිතුරාත් ඔහුගේ සොහොයුරියත් බක්කිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.
(කීර්ති මෙන්ඩිස්)