supreme-court-orders-fine-for-those-who-attacked-drunk-motorcyclist-with-helmet

 බීමත්ව යතුරුපැදියක් පැදවූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට, ඔහුගේම හිස්වැස්මෙන් පහරදී සිහිසුන් කිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ පොලිස් සැරයන්වරයාට රුපියල් ලක්ෂයක පෞද්ගලික වන්දියක් ගෙවීමට නියම කර තිබේ. ඊට අමතරව රුපියල් 30,000ක වන්දියක් සහ රුපියල් 25,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස රජයටද පසුගිය 08 වන දා නියෝගයක් නිකුත්

කෙරිණි.



මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ කළුතර ප්‍රදේශයේ පදිංචි පාසල් තණතිලි කළමනාකරුවෙකු වන මනෝජ් ශමික මහතා විසිනි. 2022 වසරේ සැප්තැම්බර් 21 වන දින, මත්පැන් පානය කිරීමෙන් අනතුරුව හිස්වැස්මක් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කළුතර පොලිසියේ සැරයන් සමන්ත තුෂාර් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැරයන්වරයා විසින් පෙත්සම්කරුගේම හිස්වැස්ම භාවිත කරමින් ඔහු සිහිසුන්ව බිම ඇද වැටෙන තුරු පහර දී ඇති බවත්, පසුව ඔහුව රෝහල්ගත කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිදුවීමෙන් පසු පෙත්සම්කරුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා අටක් යටතේ නඩු පවරා තිබූ අතර, ඉන් චෝදනා පහකින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබිණි. ඉතිරි චෝදනා තුනට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට රුපියල් 7,500ක දඩ මුදලක් නියම වී ඇත. පොලිස් පහරදීමෙන් තමාට සිදු වූ අසාධාරණය වෙනුවෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ ඉන් අනතුරුවය.



දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, දිලිප් නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, වගඋත්තරකාර පොලිස් සැරයන්වරයා විසින් පෙත්සම්කරුගේ සමානත්මතාවයට ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේය. ඒ අනුව ඉහත වන්දි සහ නඩු ගාස්තු ගෙවීමට නියම කෙරුණු අතර, පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ප්‍රීනාත් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.