go-digital-quickly-president-tells-income-tax-officials

කාර්යක්ෂම බදු පරිපාලනයක් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී ඇත. මෙහි ප්‍රධාන අරමුණු වන, බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල කිරීම, බදු විනිවිදභාවය ඉහළ නැංවීම සහ ගනුදෙනු සඳහා POS (Point of Sale) යන්ත්‍ර හඳුන්වාදීම

පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙම පියවර මඟින් රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ.




වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (lRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (08දා) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කීය.


මෙම සාකච්ඡාවේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින RAMlS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය හා දේශීය වශයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය,

RAMIS පද්ධතියේ දැනට පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ සඳහා තාක්ෂණික විසඳුම් ලබාදීම යනාදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.