ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා ලබාදුන් නව පත්වීම් ලැයිස්තු, දියරමය මකනයක් (Tipp-Ex) භාවිතයෙන් හිතාමතා වෙනස් කර ඇති බවටත්, එමගින් සුදුසුකම් ලත් පත්වීම්ලාභීන් රැසක් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවටත් බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
පසුගිය සිකුරාදා (04) අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදුකර ඇති අතර, පත්වීම් ලිපි භාරගත් බවට තහවුරු කිරීමට අත්සන් තැබූ ලේඛනයේ නම් රැසක් මකා දමා නැවත ලියා ඇති බව පත්වීම්ලාභී ගුරුවරුන් විසින් නිරීක්ෂණය කර ඇත.
යම් පුද්ගලයකුගේ හෝ සංවිධානාත්මක කණ්ඩායමක මැදිහත්වීමෙන් මෙම අක්‍රමිකතාව සිදුවන්නට ඇති බවට ඔවුහු සැක පළ කරති.
මෙම පත්වීම් ලබාදීමේදී පත්වීම්ලාභීන්ගේ පදිංචිය, විෂය ක්ෂේත්‍රය හෝ පහසුව කිසිසේත් සලකා නොමැති බවට චෝදනා එල්ල වේ. උදාහරණ ලෙස කොට්ටාවේ පදිංචි ගුරුවරියකට මින්නේරියටත්, තාක්ෂණවේදය උගන්වන ගුරුවරයෙකුට එම විෂයය නොමැති නිත්තඹුව, සාරිපුත්ත විද්‍යා පීඨයටත් පත්වීම් ලබාදී තිබීම කැපී පෙනේ. තවද ගම්පහ පදිංචිකරුවන්ට පොළොන්නරුවටත්, කටුනායක පදිංචිකරුවකුට කිලෝමීටර 140ක් පමණ දුරින් පිහිටි ශ්‍රී පාද විද්‍යා පීඨයටත් පත් කිරීම් සිදුකර ඇත.
අසාධාරණයට ලක්වූවන්ගෙන් බහුතරය ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවාවන්හි වසර ගණනාවක් සේවය කළ, දරු පවුල් සහිත පළපුරුදු නිලධාරීන් වීම ගැටලුවේ බරපතළකම තවත් වැඩි කරයි. නවක පත්වීමක් ලබන තරුණයකුට මෙන් නොව, පෞද්ගලික සහ පවුල් වගකීම් රැසක් ඇති තමන්ට මෙවැනි දුර බැහැර පළාත්වල සේවය කිරීම ප්‍රායෝගික නොවන බව ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් බොහෝ දෙනෙක් තමන්ට ලැබුණු පත්වීම් භාර නොගැනීමේ තීරණයකට එළඹෙමින් සිටින බවද වාර්තා වේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පත්වීම් ලේඛන වෙනස් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval