strict-action-against-pedestrians-who-do-not-use-kandy-subways

මහනුවර නගරයේ මාර්ග හරහා මාරුවීමේදී භූගත උමං මාර්ග භාවිත නොකරන පදිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.



මහනුවර නගරයේ මාර්ග නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පදික වේදිකා අවහිර කරමින් ඉදිකර ඇති අනවසර වෙළෙඳසල් පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බව ඔහු පැවසීය.

විශේෂයෙන් පේරාදෙණිය, ගැටඹේ ප්‍රදේශයේ උමං මාර්ගය භාවිත නොකිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, මාර්ගය දෙපස මල් අලෙවිසල් පවත්වාගෙන යෑම බව නිරීක්ෂණය වී ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊට විසඳුමක් ලෙස, එම මල් අලෙවිකරුවන්ගේ ජීවනෝපායට හානියක් නොවන පරිදි, ගැටඹේ උමං මාර්ගය තුළ ඇති හිස් වෙළෙඳසල් ඔවුන් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා නිශ්චිත දින වකවානුවක් ලබාදෙන බවත්,

ඉන් අනතුරුව නියමිත ගාස්තු ගෙවා නිසි අවසරයක් යටතේ එම වෙළෙඳසල් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන බවත් ඒ මහතා කීවේය. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු, පදිකයන් උමං මාර්ගය භාවිත කිරීම අනිවාර්ය කෙරෙනු ඇත.