scientists-reveal-how-king-kong-the-giant-ape-became-extinct

වරක් දකුණු චීනයේ සැරිසැරූ, අඩි 10ක් පමණ උසැති, මෙතෙක් ලොව වාසය කළ විශාලතම වානරයා ලෙස සැලකෙන 'ජයිගැන්ටොපිතෙකස් බ්ලැකී' (Gigantopithecus blacki) නම් සත්වයා වඳ වී ගියේ මන්දැයි යන පැරණි අභිරහස විසඳීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. 



‘නේචර්’ සඟරාවේ පළවූ නවතම අධ්‍යයනයකට අනුව, මෙම යෝධ වානරයා මීට වසර 295,000ත් 215,000ත් අතර කාලයකදී වඳ වී ගොස් ඇත්තේ, දේශගුණික විපර්යාස හේතුවෙන් සිය ආහාර පුරුදු වෙනස් කරගැනීමට නොහැකි වීමෙනි.

චීන සහ ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් දකුණු චීනයේ ගුහා 22ක් ආශ්‍රිතව දශකයක් පුරා කළ පර්යේෂණවලදී මෙම කරුණු අනාවරණය කරගෙන ඇත. පොසිල දත් සහ හකු විශ්ලේෂණයට අනුව, මුල් කාලයේදී පළතුරු බහුල වනාන්තරවල සශ්‍රීකව ජීවත් වූ මෙම සත්වයා,

දේශගුණය වෙනස් වීමත් සමඟ පළතුරු හිඟ වූ විට, පොතු සහ අතු වැනි අඩු පෝෂ්‍යදායී ආහාරවලට යොමුවී තිබේ. මෙම ආහාර රටාවට අනුවර්තනය වීමට නොහැකි වීමෙන් ඇතිවූ නිදන්ගත ආතතිය, ඔවුන්ගේ ගහණය ක්‍රමයෙන් අඩුවී වඳ වී යෑමට හේතු වී ඇත.

මෙම වානරයාගේ පොසිල ලෙස මේ දක්වා හමුවී ඇත්තේ දත් සහ හකු ඇට පමණි. 2019 වසරේදී සිදුකළ ප්‍රෝටීන විශ්ලේෂණයකට අනුව, මෙම යෝධයාගේ සමීපතම ජීවී ඥාතියා බෝර්නියෝ ඔරංඔටන් බවට හඳුනාගෙන තිබේ.

මෙම වානරයා ජීවත් වූ කලාපයේම, ආදි මානවයෙකු වන 'හෝමෝ ඉරෙක්ටස්' ද ජීවත් වූ බවට සාක්ෂි ඇත. ජයිගැන්ටොපිතෙකස් පොසිල හමුවූ ගුහාවක් ආසන්නයෙන් වසර 800,000ක් පැරණි ගල් ආයුධ හමුවී තිබීම නිසා, මෙම යෝධ වානරයා සහ ආදි මානවයන් එකිනෙකාට මුණගැසෙන්නට ඇති බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.

gossiplanka image 1


gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
>