consumer-affairs-authority-warns-against-substandard-coconut-oil

 රටපුරා වෙළෙඳපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 70ක් පරීක්ෂා කිරීමේදී, ඉන් සාම්පල 22කම වෙනත් තෙල් වර්ග කවලම් කර ඇති බවට තහවුරු වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේය. 



ජනාධිපති ලේකම් කාර්යාලය සහ වෙළෙඳ අමාත්‍යාංශය විසින් කරන ලද දැනුම්දීමකට අනුව,

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර, ලබාගත් සාම්පල පොල් සංවර්ධන අධිකාරිය මගින් පරීක්ෂාවට ලක් කර තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, පිළිගත් ආයතනවලින් පමණක් පොල්තෙල් මිලදී ගන්නා ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. පොල්තෙල් මිලදී ගැනීමේදී එහි ඇසුරුමේ නිෂ්පාදකයාගේ තොරතුරු, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය නිසි ලෙස සඳහන් කර ඇත්දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.



එවැනි තොරතුරු සඳහන් නොවන පොල්තෙල් අලෙවි කරන වෙළෙඳසල් පිළිබඳව තම අධිකාරියට පැමිණිලි කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. බාල පොල්තෙල් අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පොල්තෙල් සැපයූ කුලියාපිටියේ නිෂ්පාදනාගාරයකට එරෙහිව දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.