sri-lankan-government-files-case-against-adani-for-seeking-compensation

 මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මෙගාවොට් 484ක දැවැන්ත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත්වීමත් සමග, එම ව්‍යාපෘතියේ මූලික කටයුතු සඳහා වැය වූ මුදල් යළි ඉල්ලා සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය සහ එම සමාගම අතර නීතිමය ආරවුලක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. 



මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි සමාගම තීරණය කර ඇත්තේ, ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වූ අවස්ථාවේ පැවති රජය විසින් එකඟ වූ විදුලි ඒකකයක මිල ගෙවීමට වත්මන් රජය එකඟ නොවීම බව අනාවරණය වේ.

උත්පාදනය කරනු ලබන විදුලිය සඳහා ගෙවන මිල අඩු කිරීමට රජය උත්සාහ දැරීම මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 442ක ආයෝජනයක් ලෙස සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල සුළං බලාගාර ඉදි කිරීමට නියමිතව තිබිණි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නම්, මේ වසර තුළදී මෙගාවොට් 350ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබූ බවද වාර්තා වේ.

ව්‍යාපෘතියට අදාළව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග සිදුකළ පර්යේෂණ සහ මූලික විමර්ශන සඳහා දැරූ වියදම් යළි ගෙවන ලෙස අදානි සමාගම පසුගිය මැයි මාසයේදී බලශක්ති අමාත්‍යාංශයට ලිපියක් මගින් දන්වා ඇත. මෙම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්,

අදාළ බලශක්ති බලපත්‍රය සඳහා කළ ගෙවීම කිසිසේත් ආපසු ගෙවිය නොහැකි බවට සුනිත්‍ය බලශක්ති අධිකාරිය දැඩි ස්ථාවරයක පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත්, බලපත්‍ර ගාස්තුව හැර අනෙකුත් වියදම් සම්බන්ධයෙන් නීති උපදෙස් මත පදනම්ව සලකා බැලීමට අධිකාරිය සූදානමින් සිටින බවද පැවසේ. එහෙත්, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන වියදම් පිළිබඳ දත්ත අතර පවතින නොගැලපීම් හේතුවෙන් මෙම ගැටලුව නීතිමය ක්‍රියාමාර්ගයක් දක්වා දුරදිග යා හැකි බවට විශ්වාස කෙරේ.