රාගම, බටුවත්ත ප්‍රදේශයේදී “ආමි උපුල්” නමැත්තා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පාතාල ක්‍රියාකාරකමක් සහ මත්ද්‍රව්‍ය ආරවුලකට පළිගැනීමට විය හැකි බවට සැක කරන බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. එමෙන්ම එම කාර්යාංශය සඳහන් කරන්නේ බටුවත්තේ චූලා’ නමැත්තකුගේ උපදෙස් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
ආමි උපුල් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි පැදිකරු වෙඩි තැබීමට උපයෝගි කරගත් යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මේ වන විට හැකිව ඇතිව තිබේ. ඒ අනුව විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ ආමි උපුල්ට වෙඩි තැබූ වෙඩික්කරුද මේ වන විට හඳුනාගෙන අවසන් බවය. ඔහු අද හෙටම අත්අඩංගුවට ගන්නා බවත් එම කාර්යාංශය අවධාරණය කරයි. එමෙන්ම ආමි උපුල් ඝාතනයට යොදාගත් ගිනි අවියද එම කාර්යාංශයේ නිලධාරීන් විසින් මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ආමි උපුල් පදිංචිව සිට ඇත්තේ රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේය. පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුගේ ජීවිතයට මරණීය තර්ජන එල්ල වී තිබිණි. ඒ බව පොලිසිය මෙන්ම බුද්ධි නිලධාරීන්ද ඔහු දැනුවත් කර තිබිණි. ඊට එක් හේතුවක් වූයේ ඔහු වෙඩි තබා මරා දැමූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගණේමුල්ල සංජීවගේ සමීපතමයකු ලෙස කලක සිට ක්‍රියා කර ඇති නිසාය.
ඔහුට මරණ තර්ජන එල්ලවීමත් සමඟ ඔහු වැඩිපුර එළි පෙහෙළියට ගියේ නැත. කෙසේ වෙතත් ඔහුව ඝාතනය කිරීමට ඔහුට විරුද්ධ පාර්ශ්වය කිහිප වතාවක්ම උත්සාහ ගෙන තිබිණි.
ඉකුත් 3 වැනිදා රාත්‍රියේ ඔහු සිය නිවෙසේ රැඳී සිටියදී ඔහුගේ සමීපතමයකු මෙන්ම පාසල් මිතුරකු වූ ‘සුද්දා’ නමැත්තා ආමි උපුල් හමුවීමට රාගම, බටුවත්තේ උපුල්ගේ නිවෙසට පැමිණ තිබේ. නිවෙස තුළ සිටි ආමි උපුල් සිය මිතුරා හොඳින් දන්නා හඳුනන නිසාම නිවෙසින් පිටට පැමිණ ඔහු සමඟ කතාබස් කර ඇත්තේ ඉන් අනතුරුවය. ඒ සමඟම ආමි උපුල් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර වෙඩි පහර කෑ ආමි උපුල් එතැනම මැරී වැටුණු අතර ඔහු සමඟ සිටි පාසල් මිතුරා පලා ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ රාගම පොලිසිය විසිනි. ඒ, අතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද ඊට එක්කර ගැනිණි. එහි ස්ථානාධිපති අසේල සඳනුවන් ඇතුළු කණ්ඩායමක් ආමි උපුල් ඝාතනය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයට එක්වෙමින් කරුණු කාරණා සොයද්දී වෙඩි ප්‍රහාරය එල්ල වන මොහොතේ නිවෙසේ සිටි ආමි උපුල්ගේ නැඟණිය ඇතුළු දෙතුන් දෙනකුගෙන්ද නිලධාරීන් ප්‍රකාශ ලබාගන්නා ලදී.
“වෙඩි සද්දේ ඇහුණම මම ගේ ඇතුළේ ඉඳන් දුවගෙන ආවා. එතකොට මම දැක්කා රතුපාට ත්‍රීවීල් එකක් එතැනින් යනවා.” ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක කළේ ආමි උපුල්ගේ ඝාතකයන් ත්‍රිරෝද රියක පැමිණ උපුල්ට වෙඩි තැබූ බවකි. කෙසේ වෙතත් සීසීටීවී කැමරා සහ බුද්ධි තොරතුරු නිරීක්ෂණය කරද්දී එම සැකය නිවැරැදි නොවන බව නිලධාරීන්ට ඒත්තු ගැනිණි.
“පස්සේ අපි හොයලා බලද්දී සිද්ධිය වුණු නිවෙස ආසන්නයේ බස් රථ කිහිපයක හිමිකරුවකුගේ ගෙයක් තියෙනවා. ඒ වෙලාවේ වැඩ නිම කළ බස් රථයක් ඔය ගෙදරට ඇවිල්ලා පාක් කරලා ඒ බස් එකේ ඩ්‍රයිවර් එයාගේ ත්‍රීවීලර් එක අරගෙන ඔතැනින් ගිහින් තියෙනවා. ඒක තමයි ආමි උපුල්ගේ ගෙදර අය දැකලා සැක කරලා තියෙන්නේ. පස්සේ අපි දැනගත්ත මේ සිද්ධියට තුවක්කුකරුවන් ඇවිත් තියෙන්නේ බයික් එකක කියලා.”
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී විමර්ශන නිලධාරියකු සඳහන් කළේ එවැන්නකි. මේ අතර ආමි උපුල් වෙඩි තබා මරා දැමූ සැකකරුවන් සොයමින් සිටි නිලධාරීන් ඉකුත් 8 වැනිදා බටුවත්ත කනත්ත අසලදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයකු නතර කොට ඔහු අත තිබූ ගමන් මල්ල පරීක්ෂා කර තිබේ. එම පරීක්ෂාවේදී එම මල්ල තුළ හෙරොයින් කිලෝ 1ක් සහ ග්‍රෑම් 775ක් තිබී සොයාගැනීමත් සමඟ සැකකාර පුද්ගලයා කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගොස් දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විණි.
“කොහෙන්ද උඹට මේ බඩු”
මෙලෙස දිගින් දිගට ප්‍රශ්න කරද්දි ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ බටුවත්තේ චූලා නමැත්තාගේ මත්ද්‍රව්‍ය බවත් එම යතුරුපැදියද බටුවත්තේ චූලාට අයත් එකක් බවත් අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි විණි. ඒ අනුව නිලධාරීන් පවසන්නේ බටුවත්ත චූලා නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය තැන් තැන්වලට ප්‍රවාහනය කිරීම මෙම සැකකරු විසින් සිදුකරන බවකි. පසුව ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු නිලධාරීන් ඔහු තාවකාලිකව පදිංචිව සිටි බටුවත්තේ නිවෙසක්
සෝදිසියට ලක්කර තිබේ. කොළඹ සහස්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු චූලාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම සඳහා 2022 වසරේ සිට බටුවත්තේ මෙම නිවෙසේ පදිංචිව සිට ඇති බව නිලධාරීහු පවසති.
පසුව සැකකරුගේ තාවකාලික නිවෙස් දෙකක් සෝදිසි කිරීමේදී එහි වානේ අල්මාරියක තිබී ස්වයංක්‍රිය ගිනිඅවි දෙකක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ. SMG වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත එම ගිනි අවි දෙක සමඟ එම අවියට යොදන පතරොම් ගැබ් දෙකක් අවියට භාවිත කරන 9mm වර්ගයේ ජීව පතරොම් 10ක් සහ ටී – 56 වර්ගයේ ගිනි අවියක යකඩ බට කොටසක්ද සොයා ගැනීමට නිලධාරීන්ට තිබේ.
තවද වැඩිදුරටත් අනාවරණය කරගත් කරුණු මත තවත් ගංජා කිලෝ 67යි ග්‍රෑම් 570ක් විද්‍යුත් තරාදියක්, ගුවන් හමුදා නිල ඇඳුමක කමිසයක්, යුද හමුදා නිලධාරීන් පලඳින බූට් සපත්තු යුගලක්, රවුටරයක්, යතුරුපැදියක්, ජ
ංගම දුරකථන 3ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ඇතුළු දේපළ රැසක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ.
වයස අවුරුදු 26ක මෙම සැකකරු බටුවත්තේ චූලා නමැත්තාගේ උපදෙස් මත නිවෙසක් කුලියට ගෙන එය මත්ද්‍රව්‍ය ඇතුළු අවි සැපයීමේ සේෆ්හවුස් එකක් ලෙස භාවිත කරමින් චූලාගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී ඇතැයි විමර්ශන නිලධාරීහු සඳහන් කරති. මෙලෙස අත්අඩංගුවට ගත් එක් ගිනි අවියක් ආමි උපුල් ඝාතනයට යොදා ගන්නට ඇතැයි විමර්ශන නිලධාරීහු සැක කරති. ඔහු සන්තකයේ තිබූ අත්අඩංගුවට ගත් මුළු හෙරොයින් ගණන කිලෝ 9යි ග්‍රෑම් 240කි.
ඉන් අනතුරුව නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමේදී ආමි උපුල් ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවිය වෙඩික්කරු වෙත ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවත් වෙඩි තැබීමෙන් පසු එම අවිය ලබාගෙන සඟවා තබාගෙන ඇත්තේද මොහු බවටත් අනාවරණය වී තිබේ.
වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සුද්දා නමැත්තා සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිවන අතර ඒ අනුව සුද්දාද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන නිලධාරීන් පවසන්නේ වෙඩි තැබීමට පෙර දින එනම් 2 වැනිදා ආම් උපුල් ඝාතනය කිරීමට සැලසුම් සකස් කර තිබුණද ආමි උපුල් නිවෙසින් පිටතට ගැනීමට නොහැකි වීම මත එම ප්‍රහාරය ව්‍යර්ථ වූ බවය.
පසුව ආමි උපුල්ගේ පාසල් මිතුරා වූ සුද්දා යොදා උපුල් නිවෙසින් පිටට ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ.
ආමි උපුල් ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ පැදිකරුට රුපියල් 20,000ක මුදලක් ගෙවා ඇති අතර එය සුද්දා හරහා පැදිකරුට ලබාදී ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති. එමෙන්ම ආමි උපුල් ඝාතන සැලැස්ම සුද්දාගේ නිවෙසේදී සිදුව ඇති බවත් වෙඩික්කරු ඉකුත් පළමුවැනිදා බටුවත්තට පැමිණ තිබූ බවත් විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන තිබේ.
මරා දැමූ ආමි උපුල් නමැත්තා කළු පටි කරාටේ ශූරයකු වන බවත් පාතාල ක්‍රියාකාරකමක් හේතුවෙන් මොහු මරා දමන්නට ඇතැයි සැක කළද උපුල් මරා දැමූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
මේ අතර බටුවත්තේ චූලාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රධානියකුද එම කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(කීරඒති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval