
බරපතළ ගණයේ අපරාධ කිහිපයකට අදාළ සංවේදී විමර්ශන තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබාදීමේ චෝදනාවකට ලක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ. පොලිස් විමර්ශනවලට බාධාවක් විය හැකි මෙම ක්‍රියාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
වල්පලගේ මහේෂ් මධුසංක නමැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා, ගණේමුල්ල සංජීව ඝාතනය වැනි බරපතළ අපරාධ පිළිබඳ විමර්ශන තොරතුරු මෙන්ම, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ඡායාරූපයක් ද තුන්වන පාර්ශ්වයකට යොමුකර ඇති බවට අධිකරණයේදී අනාවරණය විය. සැකකාර නිලධාරියාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී මෙම කරුණු හෙළිදරව් වී ඇති බවත්,
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු රටින් පිටවීම වැළැක්වීමට ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටි මහතා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පතක් නිෂ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය පසුගිය 14 වන දින නියෝග කළාය. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ සහ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරුන්ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, යූ ටියුබ් නාලිකාවක පළවූ වීඩියෝවක් මුල් කරගනිමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් පූර්ව ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දුන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන්,
පෙත්සම්කරු සඳහන් කරන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, අත්අඩංගුවට ගනු ලැබුවද එය ඇප ලබා දිය හැකි වරදක් බවත් අධිකරණයට දන්වා සිටියහ.
වගඋත්තරකාර පාර්ශ්වයන්ගේ එම දැනුම්දීම සැලකිල්ලට ගත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් නොමැති නම් එම ඇප අයදුම්පත ඉල්ලා අස්කර ගන්නා බවට අධිකරණයට ප්‍රකාශ කළේය. ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට යටත්ව එය නිෂ්ප්‍රභ කරන බවට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval