තම මව අනියම් සබඳතාවක් පවත්වන බවට ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, ඇයව ගෙවත්තේ පිහිටි අනාරක්ෂිත වගා ළිඳකට තල්ලු කර මරණයට පත්කළ බවට චෝදනා ලැබූ පුත්‍රයෙකු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගල්නෑව, හෙළබොදුගම ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. අසේල නමැති මෙම සැකකරු,
කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.මෙම මරණය සම්බන්ධයෙන් මුලින්ම පොලීසියට ප්‍රකාශයක් ලබා දී ඇති සැකකාර පුත්‍රයා, තම මව වන ආර්.එම්. නන්දාවතී මහත්මිය ළිඳට පැන සිය දිවි නසාගත් බව පවසා තිබිණි. කෙසේ වෙතත්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මියගිය කාන්තාවගේ හිසේ පටක ඉරීයාමෙන් තුවාල සිදුවී ඇති බවට අනාවරණය වීමත් සමඟ මරණය පිළිබඳව සැක මතු විය.
මෙම වෛද්‍ය වාර්තාව පදනම් කරගනිමින් ගල්නෑව පොලීසිය සැකකාර පුත්‍රයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී, මව සමඟ ඇති වූ බහින්බස්වීමකින් පසු ඇයව ළිඳට තල්ලු කළ බවට කරුණු හෙළි කරගෙන ඇත. ගල්නෑව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මුණසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර, එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval