
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) නැවත මහපොළ භාරකාර අරමුදල යටතට පත් කරන ලෙස නිර්දේශ කර තිබේ. එම ආයතනය මහපොළ අරමුදල සතුව තිබී පූර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී බවට තහවුරු වීමත් සමඟ මෙම නිර්දේශය ඉදිරිපත් වී ඇත.
මෙම තීරණයට අදාළව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට දැනුම් දී තිබේ.
ලලිත් ඇතුළත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල, පසුගිය 09 වන දින කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අතර, එහිදී 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.
2015 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පදනම්ව, එවක විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව SLIIT ආයතනයේ වත්කම් පවරාගෙන ඇති ආකාරය නීතියට පටහැනි බව කමිටුව හමුවේ සාකච්ඡා විය.
මෙම පවරා ගැනීම සඳහා SLIIT ආයතනය විසින් මහපොළ අරමුදල වෙත රුපියල් මිලියන 408ක මුදලක් ගෙවා තිබීම බරපතල ගැටලුකාරී තත්ත්වයක් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ. අරමුදලටම හිමි ආයතනයක්, අරමුදලටම මුදල් ගෙවා එහි අයිතිය තමන් සතු කර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බව මෙහිදී අවධාරණය විය.
මෙම අනීතික සහ වංචනික ක්‍රියාවලියට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබා දීම මගින් අනාගතයේදී මෙවැනි දූෂණ වැළැක්වීමට පූර්වාදර්ශයක් සැපයිය යුතු බව කෝප් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.
කමිටුව හමුවේ අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, මෙම වංචනික ක්‍රියාවලියට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත්, ඒ සඳහා අවශ්‍ය ඉදිරි පරීක්ෂණ කඩිනම් කරන බවත් ප්‍රකාශ කළේය.
රාජ්‍ය ආයතනයක් ලෙස යහපත් චේතනාවෙන් ආරම්භ කළ SLIIT ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට නිල බලයෙන් රාජ්‍ය නිලධාරීන් පත් කර තිබුණ ද, එය මූල්‍යමය වශයෙන් ඉහළ ලාභයක් ఆర్జනය කරන ආයතනයක් බවට පත්වීමත් සමඟ ඇතිවූ තණ්හාව හේතුවෙන් එය රජයෙන් ඉවත් කර ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කළ බව, මෙම පවරා ගැනීමට එරෙහි වූ නිලධාරියෙක් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසීය.
මෙම විමර්ශනය හේතුවෙන් දහස් සංඛ්‍යාත සිසුන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලය කඩා වැටෙනු ඇති බවට ඇතැම් පාර්ශ්ව විසින් අසත්‍ය මතයක් සමාජගත කිරීමට උත්සාහ කළ හැකි බවට ද කමිටුවේදී සාකච්ඡා විය. එබැවින් SLIIT ආයතනයේ අධ්‍යයන කටයුතු එලෙසම පවත්වා ගනිමින්, එහි භාරකාරීත්වය පමණක් මහපොළ අරමුදලට පැවරිය යුතු බවට යෝජනා විය. එමගින් තවත් බොහෝ සිසුන්ට සහනදායී මිල ගණන් යටතේ උපාධි හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇත.
පෙර පැවති රජය සමයේ මහපොළ අරමුදලේ අභ්‍යන්තර විගණක ඇතුළු ප්‍රධාන තනතුරු රැසක පුරප්පාඩු පැවතීම පිළිබඳව ද කෝප් කමිටුවේ දැඩි අවධානය යොමු විය.
විශාල මූල්‍ය සංසරණයක් සිදුවන ආයතනයක මෙවැනි තීරණාත්මක තනතුරු පුරප්පාඩුව පැවතීම එහි කාර්යක්ෂමතාවයට සහ විනිවිදභාවයට දැඩි බලපෑමක් බව පෙන්වා දෙන ලදී.
මහපොළ භාර අරමුදල යටතේ පාලනය වන නැෂනල් වෙල්ත් කෝපරේෂන් සමාගම සහ නැට්වෙල්ත් සෙකියුරිටීස් සමාගමේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ද මෙහිදී විමර්ශනය කෙරිණි. පාඩු ලබමින් පැවති එම සමාගම්වල, අරමුදලට අයත් මුදල් නැවත ආයෝජනය කිරීම ඇතුළු ගැටලුකාරී ගනුදෙනු රැසක් පවතින බැවින්, ඒ පිළිබඳව වහාම වෝහාරික විගණනයක් සිදුකරන ලෙස නිර්දේශ කෙරිණි.
මීට අමතරව, 2023 වසරේදී කොන්ත්‍රාත් පදනම මත වෙළෙඳ ප්‍රදර්ශන නිලධාරීන් බඳවා ගැනීම සහ මාර්ගගත ලොතරැයියක් සඳහා තෝරාගත් ආයතනය ඉවත් වීමෙන් අරමුදලට සිදුවූ රුපියල් මිලියන 750ක අලාභය පිළිබඳව ද වෝහාරික විගණනයක් සිදුකරන ලෙස කෝප් කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
දැනට රුපියල් බිලියන 20කට ආසන්න මූලධනයක් සහිත මහපොළ අරමුදල මගින් ලැබෙන පොලී සහ අනෙකුත් ආදායම් නිසි ලෙස කළමනාකරණය කර, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන උපරිම සිසුන් සංඛ්‍යාවකට ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු කරන බව අරමුදලේ සභාපතිවරයා කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval