oh-what-a-pity-what-a-pyramid-trap

 ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවලින් ජනතාවට සහ රටේ ආර්ථිකයට සිදුවන හානිය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා “අහෝ දුකකි පිරමීඩ උගුලකි” නමින් ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇත.



අද (14) දින සිට ಇದ 18 වන දා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන, පාසල් සිසුන්, ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.



දිවයින පුරා පාසල් 6,172ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ක් ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව සංවිධානය කර ඇති බව මහ බැංකුව පවසයි. මෙහිදී, පිරමීඩ යෝජනා ක්‍රම හා සම්බන්ධ නීතිමය තත්ත්වය, එම ව්‍යාපාරවල වංචනික ස්වභාවය සහ ඒවායේ ආයෝජනය කිරීමෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

මෙම ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී පුවත්පත් දැන්වීම්,

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරණ, අධ්‍යාපනික පෝස්ටර්, රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් මෙන්ම මහජන හමු වැනි විවිධ ක්‍රමවේදයන් භාවිත කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මූල්‍ය වංචාවලින් ආරක්ෂා වී මූල්‍ය පද්ධතියේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා මහජනතාවගේ දැනුවත්භාවය සහ විමසිලිමත් බව අත්‍යවශ්‍ය වන බව මහ බැංකුව අවධාරණය කරයි.