සයින්දමරුදු ප්‍රදේශයේදී 2019 වසරේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බවට මෙතෙක් පැවති පිළිගැනීම, බරපතල සැකයකට භාජනය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. එම මරණය තහවුරු කිරීමට යොදාගත් DNA පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් බරපතල සැක කටයුතු තොරතුරු විමර්ශනවලදී හෙළිවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයාට අනුව, සාරා ජස්මින්ගේ යැයි සැලකෙන ශරීර කොටස් සම්බන්ධයෙන් සිදුකළ මුල් DNA පරීක්ෂණ දෙකේදීම ඇයගේ සමීපතම ඥාතීන්ගේ DNA සාම්පල සමග ගැළපීමක් සිදුවී නොමැත. එහෙත්, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මැදිහත්වීම මත ලබාගත් තෙවන DNA වාර්තාවක් මගින් ඇය මියගිය බවට සහතික කිරීමට උත්සාහ දරා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම DNA සාම්පල ලබා ගැනීම සහ පරීක්ෂාව සිදුකළ ආකාරය දැඩි සැකයට තුඩු දී ඇති බැවින්, අදාළ කරුණු නිසි අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කරුණු හෙළිදරව් වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයකදී මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. සයින්දමරුදු පිපිරීම සිදුවන අවස්ථාවේ සාරා ජස්මින් එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පිටව ගිය බවට තොරතුරු පවතින බවත්, ඒ පිළිබඳව එවකට නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා යටතේ සිටි මේජර්වරයෙකුගෙන් ප්‍රශ්න කිරීමෙන් සත්‍යය අනාවරණය කරගත හැකි බවත් මුජිබර් රහුමාන් මහතා එහිදී අවධාරණය කළේය.
සාරා ජස්මින් මියගිය බවට තහවුරු කිරීමට පසුගිය රජයට පැවති අවශ්‍යතාව මත, මතභේදාත්මක තෙවන DNA වාර්තාව ලබාගැනීම සඳහා එවකට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තවත් පුද්ගලයෙකු සමග ගිය බවද, එම අනෙක් පුද්ගලයා කවුරුන්දැයි පොලිස්පතිවරයාගෙන් විමසා දැනගත හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් ආරම්භ කර ඇත.
විවාදයට පිළිතුරු ලබාදුන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, පාස්කු ප්‍රහාරය පිටුපස බුද්ධි අංශවල ඉතා කුඩා කණ්ඩායමක් සිටි බව පිළිගත් නමුත්, බුද්ධි අංශයේ අති බහුතරය ඊට සම්බන්ධ නොමැති බව අවධාරණය කළේය. සයින්දමරුදු සිදුවීම වන විට තමා නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ බව පිළිගත් ඔහු, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය හයකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදුන් බවද සභාවට දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval